රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයා අද (08) මේ බව කියාසිටියේ නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.
“මතක තියා ගන්න මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නෑ. මට අවශ්‍ය වන්නේ මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් යළිත් ගොඩ නංවන්නයි. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්ම තව අවුරුදු දෙක තුනකින් සෑම දෙනෙකුටම දැනෙයි.“ ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
මෙරට විදේශ සංචිතය අමෙරිකා ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේය.
'' පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
නිදහස් උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පසුගියදා අපේ රටේ තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එහිදී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් පෙන්වා දී තියෙන්නේ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවති දේවල් නිසා රටේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු බවයි. මේ තරුණ තරුණියන්ගේ සිත් තුළ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
''මම තවමත් මගේ ශ්‍රී ලංකාව අතහැර නැත'' - මතීෂා උඩවත්ත
නිදහස් දවසට පසුදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ විශේෂ අතිරේකයක් පළ වුණා. තරුණ තරුණියන් කිහිපදෙනකුගේ අදහස් එහි පළ කර තිබුණා.
මතීෂා උඩවත්ත : මෙන්න මෙහෙම කියනවා.
“While leaving the country is a constant resonating thought, there is still a smallest spark inside me that’s holding me close to home. I intend not let it die. I have not given up to my Sri Lanka yet”
“රට හැර යාම ගැන සිතුවිලි නිරන්තරව ම සිතේ නින්නාද වුවත්, බලාපොරොත්තුවේ කුඩා පහන් සිලක් තාමත් මා සිත තුළ දැල්වෙයි. එය මා මේ භූමියට සමීප කරවයි. මම තවමත් මගේ ශ්‍රී ලංකාව අතහැර නැත”
''අප සියලු දෙනාගේම ආකල්ප වෙනස් විය යුතුයි'' - ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු
ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු : කියන්නේ මෙන්න මෙහෙම අදහසක්.
“I Won’t migrate but I sincerely hope there will be change in Sri Lanka. All our attitudes need to change, better discipline is needed, people need to obey rules and show more empathy towards each other – Clifford Fernando”
“ රට හැර යන්නට සිතක් මට නැති නමුත්, ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුවෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙනවා. අප සියලු දෙනාගේම ආකල්ප වෙනස් විය යුතුයි. අපි විනයගරුක විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනයක් දැක් විය යුතුයි”
''මම මගේ රට හැර යන්නේ නෑ'' -සිලානි විජේසිංහ
සිලානි විජේසිංහ : මෙන්න මෙහෙම කියනවා.
“ I don’t want to leave my country – I want to help it out of the situation it is in currently. I also don’t want the people leaving at a time the country needs them the most, only to come back when things are better”
“ මම මගේ රට හැර යන්නේ නෑ. දැනට පත්වී ඇති තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීමට මට අවශ්‍යයි. මේ අර්බුදකාරී අවස්ථාවේ, රටට මිනිස් සම්පත් අවශ්‍යම අවස්ථාවේ රට හැර ගොස්, තත්ත්වය යහපත් වූ පසු පෙරළා පැමිණෙන අය මට අවශ්‍ය නැහැ”
මේ අදහස් කියැවීමේ දී මට සිහිපත් වුණේ පසුගියදා අනුරාධපුරයේ දී මා හමුවීමට පැමිණි නිවුන් දැරියන් දෙදෙනෙක්. අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරතන නාහිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අවසානයේ මේ දැරියන් දෙදෙනා මා හමුවීමට ආවා. ඔවුන් ඉගෙන ගන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 5 වසරේ. නමදි පෙරේරා සහ චෙනුති පෙරේරා. ඔවුන් ගීතයක් ගයනවා. ඒ ගීතයේ සීඩී තැටියක් මට දුන්නා. ගීතයේ මාතෘකාව - රට හැර නොයමි. අද මගේ කතාවෙන් පසු ඒ ගීතය විකාශනය කරන්න කියා මම රූපවාහිනී නාළිකාවලින් ඉල්ලා සිටිනවා.
මේ දැරු දැරියන්, මේ තරුණ තරුණියන් තමයි අපේ රටේ අනාගත පරම්පරාව. රටහැර නොයා රට යළි ගොඩනඟන්නට ප්‍රාර්ථනා කරන අනාගත පරම්පරාව. ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි අප හැමගේ වගකීම. මේ උත්තරීතර සභාවේ සිටින ඔබේ වගකීමත් එයයි. හැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම එයයි.
පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින්, මම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේ මතකයේ ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය අය වැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට පත්ව තිබූ තත්ත්වයත්, ඒ වගේම මීට මාස හත අටකට කලින් රටේ තිබුණු තත්ත්වයත් ඔබට මතක ඇති.
පාසල් වැහිලා. විභාග පවත්වන්න බැරිවෙලා. පොහොර නැතිව කෘෂිකර්මය හා වැවිලි කර්මාන්ත කඩා වැටිලා. ගොවියන් අසරණ වෙලා. සංචාරක කර්මාන්තය පිරිහිලා. පැය දහය, දොළහ විදුලිය කප්පාදු වෙලා. ගෑස් නැත්තටම වගේ නැතිවෙලා. නාගරික නිවාසවල වැසියන් ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නන්තාර වෙලා. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත, පෝලිම්වල ඉන්දැද්දිම නැති වුණා. ඒ පීඩනය දරාගන්න බැරුව ජනතාව පාරට බැස්සා.
හැබැයි අද වෙද්දි තත්ත්වය වෙනස්. පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා.
ජනතාවට දැන් කිසියම් අස්වැසිල්ලක් දැනෙනවා. අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා.
''යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුනා ''
පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.
මේ නිසා රටේ ආර්ථිකයට සිදු වන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2022 අප්‍රේල් මාසයේ ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කළා.
ඒ යෝජනාවලියේ 3.3 වගන්තිය යටතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
# උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යළි හඳුන්වා දීම.
# රාජ්‍ය ව්‍යවසායන්හි සියලුම නිලධාරින් අදාළ ආයතන හා සේවා යෝජකයින් මගින් නොව පුද්ගලිකව තමන්ගේ වැටුපෙන් බදු ගෙවීම.
# රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම.
# සියලු බදු නිදහස් කිරීම් අත්හිටුවීම.
# ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම සහ එකතු කළ අගය මත බදු ගෙවිය යුතු පිරිවැටුම් මට්ටම සංශෝධනය කිරීම.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ යෝජනාව ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන්නත් කලින්. දැන් අපි මේ යෝජනා ක්‍රියාවට නංවා තිබෙනවා.
මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.
වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.
හැබැයි, සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත්, බදු අඩු කරනවා - පඩි වැඩි කරනවා ආදි සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා.
මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා.
අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම් කළේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත්, ලංකාවට මුදල් එවන්නෙත් බලයේ සිටින දේශපාලන පක්ෂය අනුව නොව, රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාට අපේ ගෞරවය හිමි වෙනවා.
ග්‍රීසිය මීට කාලෙකට කලින් අපි වගේම බරපතල ආර්ථික අර්බුදයකට මැදි වුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදි නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුළ තුන් වතාවක් අයි.එම්.එෆ් සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා.
නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.
මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එලැඹිලා. පසුගිය සැප්තැම්බරය වෙද්දි මූලික එකඟත්වයට එළැඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි.

ඊට අදාළව පැරිස් සමාජය සමඟ අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක් පැත්තකින්, පැරිස් සමාජය සහ ඉන්දියාව සාකච්ඡා පවත්වනවා. අප සෘජුවම චීනය සමඟ සාකච්ඡා පවත්වනවා. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තියෙනවා. අනෙක් රටවල ප්‍රවේශයන් සහ චීනයේ ප්‍රවේශය එක මතයකට ගෙන ඒමට දැන් අපි කටයුතු කරමින් සිටිනවා. මේ වෑයමේදී අපට සහාය වන සියලු රටවල් වෙත අපේ කෘතවේදීත්වය මම මේ අවස්ථාවේ පළ කර සිටිනවා.
අයි.එම්.එෆ්. සංවිධානය සමඟ ඇතිකරගන්නා එකඟත්වය සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහාත් සිය උපරිම සහාය ලබාදෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමඟ අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය ලැබෙනවා. ඔවුන් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ සාමාජික රටවල්, ඉන්දියාව මෙන්ම ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා වාරයකින් පසුවයි.
මේ තීරණය අපට විශාල ශක්තියක්. ධෛර්යයක්. ශක්තිය සහ ධෛර්යය ලබාදීම පිළිබඳව මම ස්තූතිය පළ කරනවා.
ජාත්‍යන්තරය අප වෙත දක්වන සහයෝගයෙන් පිළිබිඹු වෙන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමෙන් සනාථ වෙන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි.
''වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි''
අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ.
නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි. ලෙඩා සනීප කරගත්තාට පස්සෙ අපට අනෙක් පියවර ගන්න පුළුවන්. ඒත් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ලෙඩා සනීප කර ගැනීමටයි. මම මේ සිදුකරන්නේ ඒ කාර්යයයි.
හැබැයි ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණින් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.
අයි.එම්.එෆ් එකඟත්වය ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම්, අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.
'' වහාම රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි ''
ඒ වගේම අපේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අප අතපසු කළා.

මේ ප්‍රතිසංස්කරණවලදී රජයේ කාර්ය භාරය අප නිවැරදිව හඳුනා ගත යුතුයි. රජයේ ප්‍රවේශය විය යුත්තේ පසුබිමේ සිට පුද්ගලික අංශය සෘජුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු කිරීමයි. රජය මැදිහත් විය යුත්තේ නියාමන කාර්යයන්, පොදු පහසුකම් සහ නීතිය හා සාමය රැකීම වැනි කේෂ්ත්‍ර සඳහා පමණයි. ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පුද්ගලික අංශය යොදා ගත යුතුයි. ඒ වගේම විදේශ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා පුද්ගලික ව්‍යවසායකත්වය දායක කරගත යුතුයි.
රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැඟිලි කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිස්කාරනේ නාස්ති වෙන තැන් බොහොමයි. ඒවා ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු කැළෑවට ගිය සරු ඉඩම් ගණනාවක් තියෙනවා. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා.
එසේම ණය මත පදනම් වන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ ඇගයීමේ ක්‍රියාවලියක් මත පමණයි. දේශපාලන හේතු මත රාජ්‍ය ආයෝජන මෙහෙයවීමේ පිළිවෙත නවතා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්.
පසුගිය කාලයේ බැංකු ණය අය කර ගැනීම උදෙසා පමා කාලයක් ලබාදුන් බැවින්, බැංකු පද්ධතිය දුර්වල වෙමින් පැවතුනා. දැන් ඒ පමා කාලය අවසන් වී තියෙනවා. ඒ නිසා බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා.
ඒ සමඟම දුෂ්කරතා හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර කෙරෙහි අපේ අවධානය යෙමු වී තිබෙනවා. ආර්ථිකයේ වර්ධනය සමඟ ඔවුන්ට යළි නැඟි සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට අප පියවර ගන්නවා.
නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.
වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
''අප ප්‍රශ්න මගහැර ගියා මිස දීර්ඝ කාලීන විසඳුම් සෙව්වේ නැ''
මූල්‍ය අර්බුද විසඳීම පිළිබඳ අත්දැකීම් ඇති ජාත්‍යන්තර ආයතනයක් අපේ රට ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.
“Sri Lanka has a reputation for “Kicking the can down the road” - this leads to problems avoided rather than solved in the long term”
අප ප්‍රශ්න මගහැර ගියා මිස දීර්ඝ කාලීන විසඳුම් සෙව්වේ නැ. ඒ විපාකය තමයි අද අපි සැම මේ විඳින්නේ මතක තබා ගන්න. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධය උතුරු නැගෙනහිර ගැටුමටත් වඩා තීරණාත්මක එකක්. උතුරු නැගෙනහිර ගැටුමේදී ජනවර්ග බෙදුණා.

ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් අප රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් වෙනවා.
ගරු ආර්. සම්බන්දන් මැතිතුමාත්, මමත් පාර්ලිමේන්තුවට පත් වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තියෙනවා. ඒ, අප දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමයි. ඒ සිහිනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා. උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදීම ඒ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා.
උතුරු - නැගෙනහිර ගැටුම මුළු රටටම බලපෑවා. ප්‍රදේශ ගණනාවකට දැඩි හානි සිදු වුණා. සම්පූර්ණ උතුරු පළාතත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප්‍රදේශ ගණනාවක් අපමණ පීඩා වින්ඳා. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට අප පියවර ගන්නවා. ඒ ප්‍රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා.
ඒත් තම තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.
අපි 1985 වනවිට පැවැති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කොට මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා.
මධ්‍යම ආණ්ඩුවේ යම් යම් ක්‍රියා පිළිවෙත් හේතුවෙන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල අඩු වී ඇති බවට චෝදනා නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
'' සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද මේ අයුරින්ම ක්‍රියා කරනවා''
බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා පහත සඳහන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා. 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරුන්) පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත.
''පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ''
මානව හිමිකම් උල්ළංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස කඩකිරීම් ආදි කරුණු පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශයන් ගැන ද අපේ අවධානය යොමු වෙනවා.
ගැටුම්වලින් වඩාත් හානි සිදු වූ උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මල්වතුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කළපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම, හරිත හයිඩ්‍රජන් බලය ද මේ සඳහා යොදා ගන්නවා.
සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටුවනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.
කන්කසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා. ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.
වතුකරයේ ජනතාව පිළිබඳවත් අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා ඔවුන් මුලින්ම ලංකාවට ගෙන්වා ගත්තේ මීට අවුරුදු 200කට කලින්.

වතුකරය වෙනුවෙන් විශාල සේවාවක් කළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාත්, මමත් කැබිනට් මණ්ඩලයට පත්වූණේ එකට. අප දෙදෙනා වතුකරයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එක්ව වැඩ කටයුතු කළා. මේ වන විට වතුකරයේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබාදී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජයීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමඟ සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 200ක් පුරා ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන් සියයට සියයක්ම ලාංකේය ජනතාවගේම කොටස් බවට පත් කරගත යුතු වෙනවා.
මම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ මගේ කැබිනට් අමාත්‍යවරයා වුණේ ඒ. සී. එස්. හමීඩ් මහතායි. ලාංකේය මුස්ලිම්වරුන් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් ගැන එතුමා මාව දැනුවත් කර තිබෙනවා. විටින් විට, මුස්ලිම් ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳවත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා.
ඒ නිසා මේ සියලු යෝජනා මම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව මාර්ගයෙන්. ඊට අමතරව ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.
මම කලින් අවස්ථා ගණනාවකදීත් අවධාරණය කළ පරිදි අලුතින් සිතා, අලුත් ගමනක් යන්නට කාලය දැන් එළැඹ තිබෙනවා. මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ.
වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. ඒ වෙනස්වීම යහපත් විය යුතුයි. දේශපාලනඥයන් හැටියට අප වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. දේශපාලන පක්ෂ වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.
පාර්ලිමේන්තුව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. විධායකය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. අධිකරණය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. රාජ්‍ය සේවය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.
මෙන්න මේ වෙනස වෙනුවෙන් අපි දැනටමත් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය පිහිටුවා තිබෙනවා. නමුත් තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත් කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීම මේ සභාවේ සිටින ඔබ සැමගේ වගකීමක්.
අප එතැනින් නවතින්නේ නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා.
මේ වෙනුවෙන්,
# පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා.
# වර්තමානයේ මන්ත්‍රී ආචාර ධර්ම සම්බන්ධයෙන් පවත්නා නීති රීති ප්‍රමාණවත් නැහැ. එක්සත් රාජධානිය වැනි රටවල් ආදර්ශයට ගනිමින්, මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.
# මනාප ක්‍රමය විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා විකල්ප ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව මුළු රටටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි ක්‍රියා කරනවා. නව මැතිවරණ ක්‍රමය තුළ බුද්ධිමතුන්ට, තරුණ පරපුරට සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක් සැලසිය යුතු බවත් මම විශ්වාස කරනවා.
අද ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවරණ සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයි.
මේ කාර්යයේදී කෙන්යාවේ, ජර්මනියේ සහ නෝර්වේ රාජ්‍යයේ දේශපාලන පක්ෂ පිළිබඳ පනත, එක්සත් රාජධානියේ ඡන්ද දායක පනත, රාජ්‍ය වගවීම පිළිබද යුරෝපීය ක්‍රමවේදය, එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ සහ ජනමත විචාරණ පනත පදනම් කර ගැනීමට අපේක්ෂා කරනවා.
අනාගතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීමට පියවර ගන්නවා.
ඉතිහාසය පිළිබඳ ආයතනය, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආයතනය අප අලුතින් ස්ථාපිත කරනවා. ඒ වගේම නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවනවා. රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඊට අයත් වෙනවා.
'' අලුත් නීති රීති සහ අණපනත් ගණනාවක් හඳුන්වාදීමටත් අප පියවර ගන්නවා.''
# කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත
# ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත
# ස්ත්‍රී සවිබල ගැන්වීමේ පනත
# ළමා ආරක්ෂණ පනත
# යොවුන් පාර්ලිමේන්තු පනත
# මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මූලස්ථාන පනත
# සත්‍ය සහ සංහිඳියා කොමිසම
# ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ජාතික ආරක්ෂක පනත
# දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා. ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණ වර්ගීකරණ පනතක් සකස් කරනවා.
අපේ රට පිහිටා තිබෙන්නේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වන කලාපයේයි. අප දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් අනුව කටයුතු කළොත් අපිට හරිත ප්‍රතිපාදන ලබා ගැනීමේ අවකාශය ද හිමි වෙනවා.
ඒ සියල්ල සැලකිල්ලට ගෙන අප මෙන්න මේ අණපනත් හඳුන්වාදීමට පියවර ගන්නවා.
# දේශගුණික විපර්යාස පනත
# සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත
# ප්‍රතිවනරෝපණ සහ වෘක්ෂාවරණ පනත
# ජීවමාන පද්ධති පනත - මහවැලි ගග, සිංහරාජය, සිරිපාද අඩවිය හා වන ශිඛරය, හෝර්ට්න් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම මේ පනත යටතට ගැනෙනවා.
# සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය
# මුතුරාජවෙල සංරක්ෂණ පනත
ආර්ථිකය සම්බන්ධයෙන් ද නව අණපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා ශූන්‍ය පාදක අයවැය (Zero Budgeting) ක්‍රියාවලියක් ආරම්භ කරනවා.
# ආදායම් අධිකාරි පනත
# ජාතික ණය කළමනාකරණ පනත
# ආහාර සුරක්ෂිතතා පනත
# රාජ්‍ය දේපළ කළමනාකරණ පනත
# ආර්ථික ස්ථායීකරණ පනත
# ජාතික විශ්‍රාම දායකත්ව පනත
# නව සුරාබදු පනත
# විදේශ විනිමය පනතට සංශෝධන
# බුන්වත් පනත
# ඩිජිටල් තාක්ෂණ පනත
# කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තු පනත
# අන්‍යොන්‍ය එකඟත්වය මත දික්කසාදවීමේ පනත
''ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයන් ද අපේ රටට අවශ්‍ය වෙනවා''
පසුගිය දශක ගණනාව දෙස විමසිල්ලෙන් බලද්දී ජනමාධ්‍යයේ භූමිකාව නිසි ලෙස ඉටු වී ඇත්ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ පැනනගිනවා. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයන් ද අපේ රටට අවශ්‍ය වෙනවා. මෙහිදී සාම්ප්‍රදායික ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන අංශ දෙකම අපේ සැලකිල්ලට ගත යුතුයි. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුත්තේ ඒ නිසයි.

රජය සහ මාධ්‍ය කර්මාන්තය එකට එකතුව සාමූහික ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන සැලකිලිමත් වීම වැදගත් යැයි මම කල්පනා කරනවා. සයිබර් අවකාශයේ අසත්‍ය ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන, දුස් තොරතුරු, ළමා සහ කාන්තා හිංසන, අඩන්තේට්ටම් පමණක් නොව වංචා දූෂණ ද අප අත්විඳිනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සමාගම් ද ඇතුළත් වන පාරදෘෂ්‍ය නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව අප හිතනවා.
අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයක් ඇති කර ගැනීමයි.
ආණ්ඩු මාරු වෙද්දි වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක්. ඇමැතිවරුන් මාරුවෙද්දි වෙනස් නොවෙන ජාතික ප්‍රතිපත්තියක්. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගිය රටවල්. කාලානුරූපව ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. ඒත් ආණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති උඩියටිකුරු කරන්නේ නැහැ.
''රටේ බොහෝ දෙනෙකුට අද රට පත්ව ඇති අර්බුදයේ දිග - පළල - ගැඹුර වැටහෙන්නේ නෑ''
අද මේ රටේ බොහෝ දෙනෙකුට අද රට පත්ව ඇති අර්බුදයේ දිග - පළල - ගැඹුර වැටහෙන්නේ නෑ. ඒ, අපි හැමගේම ජීවිත කාලය තුළ මෙතරම් අනතුරුදායක හා බරපතල අර්බුදයකට අප මුහුණ පා නැති නිසා.
මේ අර්බුදයෙන් කඩිනමින් ගොඩ එන්න නම් අපි සියල්ලන් එකට එක්විය යුතු බව මම නැවතත් අවධාරණය කරනවා. ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි.
මම පෙර සඳහන් කළ සියලු කණ්ඩායම් වර්තමානයේ කැපවීම් කරනවා. බර දරනවා. දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ නිසා අප ආර්ථිකය යළි ඔසවා තැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ලත් ඒ අය වෙත බෙදී යා යුතුයි. ඔවුන් ආර්ථික සංවර්ධනයේ යහ ප්‍රතිඵලවල කොටස්කරුවන් විය යුතුයි.
මේ සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීම උදෙසා අප සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරනවා.
"I hope the political leaders will get their act together - they have failed miserably. Leaders should have the ability to lead by example if they expect people to follow. Sri Lankans are very resilient and will buckle up and do what it takes to come out of the present crisis. If the leaders could act wisely, use some common sense and put their words to action, we will be able to maneuver through these challenging times"
‘‘දේශපාලන නායකයන් එකට එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වෙද්දි අභාග්‍යසම්පන්න ලෙස අසාර්ථක වෙලා තිබෙනවා. ජනතාව ඔවුන් අනුගමනය කරතැයි බලාපොරොත්තු වෙන්නේ නම්, ඔවුන් ආදර්ශවත් විය යුතුයි. නම්‍යශීලී ශ්‍රී ලාංකිකයන්ට වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නායකයන් බුද්ධිමත්ව හා සිහි නුවණින් යුතුව කියන දේ ක්‍රියාත්මක කළොත්, උපායශීලීව මේ අභියෝගාත්මක සමය ජය ගන්නට අපට පුළුවන්.”
රට ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින, රට හැර නොයන්නට අධිෂ්ඨාන කරගෙන සිටින මේ දරු දැරියන්ගේ, මේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ජය ගැන්වීම, මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්. ඔවුන්ට නිදහස් හෙටක්, නිවහල් රටක්, උරුම කරදීම මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්.
ඔබ ඊට සූදානම් ද?
අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කර ගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.
ගෞතම බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා.
‘තමා තමාටම පහනක් වන්න’
ඒ උපදෙස පිළිගනිමින්, අපි අපිටම පහනක් වෙමු.
රටම එළිය කළ හැක්කේ එවිටයි.