මෙරට මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන් කවරදාකටත් වඩා මේ වන විට ජනතාව අතර කතිකාවතක් මතුව තිබේ.
ඒ, දින කිහිපයකට පෙර සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අවධානය යොමුවීම හේතුවෙනි .
පෙබරවාරි මස තුන්වනදා හොරණ, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වන විමුක්ති ප්‍රසාද් ජයවීරට දිවි ගමනට සමුදීමට සිදුවිය.
අනතුරට ලක්වූ රථයේ රියදුරු අසුනේ ආරක්ෂිත බැලූනයේ යකඩ කැබැල්ලක් ගෙලෙහි වැදී තුවාලවීමෙන් එම මරණය සිදුව ඇතිබව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ කර ඇත.
ඒ අනුව මෙරට තුළ ධාවනය කෙරෙන වාහනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකරනවා ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකරමින්, මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂක නිලධාරී ජගත් ගමගේගෙන් විමසීමක් සිදු කරන ලදී.
ඔහු පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇති මුළු වාහන සංඛ්‍යාව ලක්ෂ 82ක් පමණ වන බවත්, ඉන් වාහන ලක්ෂ 65ක් මේ වන විට මාර්ගයේ ධාවනය කෙරෙමින් පවතින බවත් ය.
වෙනස්වූ ක්‍රමවේදය
මීට පෙර පැවති නීතියට අනුව යම් පුද්ගලයෙකු විසින් මිලදී ගනු ලබන වාහනයක් ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රැගෙනවිත් පෙන්විය යුතුව තිබුණත්, පසුකාලීනව එම ක්‍රමවේදය ඉවත්වගොස් ඇතැ යි මෝටර් වාහන පරීක්ෂක නිලධාරී ජගත් ගමගේ පවසයි.
"සාමාන්‍යයෙන් අපේ වාහන පරීක්ෂක නිලධාරියෙක් පළමු ලියාපදිංචියට රැගෙන එන වාහනය පරීක්ෂා කර බලනවා. ඒ මෙරට මෝටර් රථ ආඥා පනතට අනුකූල ද යන්න සම්බන්ධයෙන් හා වාහනයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන්. නමුත් වාහන රටට ගෙන ඒම වැඩිවීමත්, වාහන මිලදී ගැනීම වේගවත්වීම නිසා ඒ වෙනුවෙන් වාහන පරීක්ෂක නිලධාරින් පත් කිරීම අපහසුවීම හේතුවෙන් ඒ තත්ත්වය මඟහැරී ගොස් තිබෙනවා," ඔහු බීබීසි සිංහල සේවයට පවසා සිටියේ ය.
නව ක්‍රමවේදයට අනුව වාහන ගෙන එන්නේ කෙසේ ද?
මෙරටට වාහන ගෙන්වන ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන් විසින් ඔවුන් විදේශ රටවලින් ගෙන්වීමට බලාපොරොත්තු වන වාහනවලින් ආදර්ශ මාදිලි කිහිපයක් මෙරටට ගෙන්වා එම වාහන මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ පරික්ෂාවට යටත්කොට "Prototype approval" ලබාගනියි.
එලෙස ලබාදෙන සහතිකය අනුව සෙසු වාහන මෙරටට ගෙන ඒම සිදුකරනු ලබන බව මෝටර් වාහන පරීක්ෂක නිලධාරී ජගත් ගමගේ ප්‍රකාශ කළේ ය.
"අපට පෙන්වන්නේ එක වාහනය යි. ඒ වාහනයට ලබාදෙන සහතිකය අනුව අපි කියනවා මේ වගේ වාහන තමයි ගේන්න ඕනේ කියලා. හැබැයි එතනින් පස්සේ මොන වගේ වාහන ගෙනාවත් අපි දන්නේ නැහැ. අර කලින් කිව්ව වාහන වගේ ඒවා ගේනවා කිව්වට ගේන වාහන ගැන අධීක්ෂණයක් සිදුවන්නේ නැහැ," ඔහු බීබීසි සිංහල සේවයට වැඩිදුරටත් සඳහන් කළේ ය.
නිසි නියාමනයකින් තොරව වාහන ගෙන ඒමේ අවාසි
පිළිගත් වාහන නිෂ්පාදන සමාගමක් හරහා මෙරටට වාහන ආනයනය නොකිරීමෙන් එම වාහනවල ඇතිවන නිෂ්පාදන දෝෂ නිවැරදිකර ගැනීමට වාහන හිමියන්ට අවස්ථාව හිමිනොවන බව මෝටර් වාහන පරීක්ෂක නිලධාරීවරයා සඳහන් කළේ ය.
පසුගියදා හොරණ ප්‍රදේශයේ දී විද්‍යාඥයෙකු ජිවිතක්ෂයට පත්වූ අනතුරට සම්බන්ධ වාහනය ද එලෙස නිෂ්පාදිත දෝෂයක් නිසා නැවත කැඳවා තිබූ වාහනයක් බව ඔහු ප්‍රකාශ කරයි.

වාහන මිලට ගැනීමට පෙර ඔබ අනුගමනය කළ යුතු කරුණු
වාහන මිලදී ගැනීමට පෙර එම වාහනවල ප්‍රමිතිය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් රියදුරන් මෙන්ම ගැනුම්කරුවන් ද යම් අවබෝධයක් ඇතිකර ගත යුතුබව මොරටුව සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජානක රංගනාත් ගමගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගෙන්වන සෑම වාහනයක් සඳහාම මෙරට තුළදීම තත්ත්ව පරීක්ෂාවක් සිදුකිරීම ප්‍රායෝගික වශයෙන් සිදුකළ නොහැකි බව හා ඒ සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව යි.
"ලංකාවට වාහන ගෙන්වීමේ දී ඒ සඳහා පත්කරනු ලබන අධිකාරියක් විසින් ගෙන එන වාහන මාදිලි සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදන සමාගම් විසින් සිදුකර තිබෙන තත්ත්ව පරීක්ෂණ වාර්තාවන් අධ්‍යනය කරලා සහතිකයක් ලබාදීම සිදුකළ හැකියි. එය සිදුකරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද, එසේත් නැත්නම් වෙනත් ස්වාධීන ආයතනයක් හෝ කමිටුවක් විසින් ද යන්න ගැන රජය තීරණය කළ යුතු යි. කමිටුවක් මගින් මීට අදාළ නීති රීති හඳුන්වාදීම සිදුකළ හැකියි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගනාත් ගමගේ සඳහන් කළේ ය.
අනතුරට පත්වූ වාහන නැවත විකිණීමේ දී ඇතිවිය හැකි අවදානම
විදෙස් රටවල දී අනතුරුවලට ලක්වී අසාදු ලේඛණගත කළ වාහන නැවත සකස්කොට විකිණීමට කටයුතු කරනු ලැබීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනබව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගනාත් පවසයි.
"අනතුරුවලට ලක්වූ වාහන වෙන්දේසිය සිදුකරන ස්ථානවලින් මිල දී අරන් ඒවා නැවත සාදා විකිණීම සිදුකරනවා. එලෙස නැවත සාදා විකුණනු ලබන වාහනවල ආරක්‍ෂිත බැලුනය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. එම ආරක්‍ෂිත බැලුනය වෙනම තියනවා, ඊට අදාළ සංවේදී පද්ධතිය වෙනම තියෙනවා. ඒ දෙක නිසි පරිදි සම්බන්ධ වෙලා නැහැ. ඒවා ගැන සොයා බලන්න කවුරුත් නැහැ. වාහනයක ආරක්‍ෂිතභාවය ගැන නිසි තක්සේරුවක් දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ වාහනයේ මුල් හිමිකරුට පමණයි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.