පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.



ඔහු මෙසේ පැවසුවේ දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද හමුවූ අවස්ථාවේදීය.

දේශපාලන අධිකාරියෙන්, ඇතැම් කණ්ඩායම් වලින් සහ ඇතැම් මාධ්‍ය වලින් මෙම බාධා කිරීම් සිදුව ඇති බව පැවසූ සභාපතිවරයා, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.


මැතිවරණය පැවැත්වීම අභියෝගයක්ද?

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණද, මැතිවරණය ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පැවැත්වේද යන සැකය තවමත් අවසන් නැත.

ඊට හේතුව ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් මෙන්ම රාජ්‍ය ආයතන මට්ටමින්ද මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා ඉස්මතුකර පෙන්වමින් සිටින බැවිනි.

උදාහරණයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ ඉන්ධන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නියමිත පරිදි නොලැබෙන බැවින්, මැතිවරණ රාජකාරි නියමිත පරිදි ඉටුකිරීම ගැටලුසහගත බවය.

එහෙත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව පසුව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය විය.

එහිදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ වියදම් ලෙස ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2.8ක් විය.



අනෙක් අතට මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත්තේ රාජ්‍ය මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්ව ඇති බැවින් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.



මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා පැතිර ගියේය.

ජනවාරි 25 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේ, ලද්දේ මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීමටය.

විශේෂයෙන් මැතිවරණයට අවශ්‍ය වියදම් රජය විසින් ලබාදෙනු ඇත්දැයි යන සැකය වඩාත් වර්ධනය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට උපදෙස් ලබාදුන් බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 31වැනිදා ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමගිනි.

එම නිවේදනයෙන් අනතුරුව, ඊට අදාළව ජනාධිපති කාර්යාලය විසින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබිණි.



"රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව ද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී ඇත. එබැවින් මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි."



ඉන් අනතුරුව එහි තවත් දිගුවක් ලෙස, මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය මුදල් නිදහස් කිරීම සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්ද නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ, මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා, බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අංක 01/2023 සහ අංක 09/2022 යන අය-වැය චක්‍රලේඛ මඟින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් එකී මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන බව සඳහන් කර තිබේ.

මෙම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකවම ඒ සඳහා වගකිව යුතු බවද අදාළ චක්‍රලේඛයේ දක්වා ඇත.

මීට අමතරව 'මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් විසින් කොමිසමේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වන චෝදනා සහ කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ලවීම් වැනි සිද්ධි, වක්‍රාකාරයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයට බලපෑම් ඇතිකළ හැකියැයි උපකල්පනය කෙරෙන ප්‍රවෘත්ති රැසක්ම ගෙවීගිය සති කිහිපයක කාලය ඇතුළත වාර්තා විය.



මුදල් ලබාදෙන එක මහා භාණ්ඩාගාරයේ වගකීමක්..!

මැතිවරණයට අවශ්‍ය සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර, සිය මුලික වියදම් ලෙස රුපියල් මිලියන 770ක මුදලක් කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

එහෙත් එම මුදල් මෙතෙක් නිසි ආකාරයෙන් නිකුත් කර නොමැත.

එම නිසා මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දරන්නේ මෙවැනි අදහසකි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ 'ජනතා පරමාධිපත්‍යය'. ජනතා පරමාධිපත්‍යය භාවිත වෙන්නේ මැතිවරණවලදී. රටේ ජනතවගේ අත්‍යවශ්‍යම කාරණයක් තමයි ඡන්ද අයිතිය කියන්නේ. ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න වගකිවයුතු අංශ බැඳිලා ඉන්නවා. කාටවත් වගකීමෙන් බැහැරවීමේ හැකියාවක් නැහැ.” ඔහු අවධාරණය කළේය.



සමන් ශ්‍රී රත්නායක පෙන්වා දුන්නේ, “පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් බලතල තියෙන්නේ. පාර්ලිමේන්තුව අයවැය මගින් රුපියල් බිලියන දහයක මුදලක් වෙන්කරලා තිබුණා. මේ බිලියන දහය එකවර, එක දිනයක වියදම් කරන එකක් නෙමෙයි. මාස හතක් අටක් වගේ කාලයක් තුළ වරින්වර කෙරෙන දෙයක්. අපිට අවශ්‍ය වෙන විදිහට වරින්වර තමයි මුදල් ඉල්ලන්නේ. ඒ මුදල් ලබාදෙන එක මහා භාණ්ඩාගාරයේ වගකීමක්.”


ඔහු සඳහන් කළේ “පසුගිය අයවැයට අනුව රජයේ මාසික අදායම රුපියල් බිලයන එකසිය පනස් පහක්. ඒ කියන්නේ දිනකට බිලියන පහක ආදායමක්. මැතිවරණය වෙනුවෙන් ඉල්ලන්නේ ඉන් දවස් දෙකක ආදායම. මේ දවස් දෙකක ආදායම අපි වියදම් කරන්නේ මාස හතක අටක වගේ කාලයක් ඇතුළත. මේක අනෙක් සහනාධාර බෙදීම වගේ එකවර කෙරෙන ලබාදීමක් නෙමෙයි. අනෙක් කාරණය තමයි, මේක ආයෝජනයක්. මේක පළාත් පාලන ආයතන වෙනුවෙන් වසර හතරකට කෙරෙන ආයෝජනයක්. ඒ අනුව එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වැයකරන්න වෙන්නේ රුපියල් හයසීයක වගේ මුදලක්. ඒ නිසා වගකිවයුතු රජයකට කළයුතුව තියෙන්නේ මේ ජනතා අයිතිය තහවුරු කිරීම." ඔහු අවධාරණය කළේය.

 

 

වසරකින් කල්ගිය මැතිවරණයක් !

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට 2023 මාර්තු 09වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය, සැබෑ ලෙසම පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 මාර්තු 19ට පෙර ය.

එහෙත් එවකට විෂය භාර ඇමැතිවරයා විසින් මැතිවරණය පැවැත්වීම වසරක කාලයකින් දීර්ඝ කරනු ලැබීය.

ඇමැතිවරයා විසින් එම කල්දැමීම කරනු ලැබුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව නොවේ.

ඇමතිවරයා ඒ වෙනුවෙන් භාවිත කරන ලද්දේ, නිරෝධායන නීති යටතේ පැවති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගයකි.

එම නියෝගයට හේතුවී තිබුණේ එවකට මෙරට තුළ ව්‍යාප්තව පැවැති කොවිඩ්-19 වසංගත තත්වයයි.

(මුලාශ්‍රය - BBC සිංහල සේවය )

 

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්