හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත

කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.

අමාත්‍යංශය මෙසේ උපදෙස් දී ඇත්තේ රෝහල්වල පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැලකිල්ලට ගෙනයි.

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයකට ප්‍රමාද කරන ලෙස උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



මෙවන් පසුබිමක ශල්‍යකර්ම සිදුකරගැනීමට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති එම තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.



"මේ හොස්පිටල් එකට එන අයට මේකේ ලැබෙන්නේ ඇඳයි, බ්ල්ඩින් එකයි, වෛද්‍යවරුන්ගේ සහයෝගයයි විතරයි. අනිත් සියලුම බෙහෙත් පිටින් ගෙන්න වෙලා. මහ දුකක් මිනිස්සු විඳින්නේ. හැබැයි බදු ගෙවන්නත් වෙලා සල්ලිත් නෑ. ඒ නිසා කරුණාකරලා මේ ශල්‍යකර්මවල අත්‍යවශ්‍ය නොවන කතාවක් නෑ.. ඒවා කළ යුතුමයි." රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසිය.

"ශල්‍යකර්ම ඒ අවශ්‍ය වෙලාවට නොකිරීම හරහා, අපි ගත්තොත් හර්නියා ශල්‍යකර්මයක් නොකර සිටීම හරහා යම් මොහොතක ඒ රෝගීයාගේ ජීවිතය අවදානමට ලක්වෙන් පුළුවන්. ඒ වගේම තව ශල්‍යකර්ම ගණනාවක් තියෙනවා. එවැනි ඒවට තමයි මේ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැතිනම් ජීවත ආරක්ෂක නොවන ශල්‍යකර්ම කියලා. වචන හරඹයක් සිද්ධකරනවා මේක non-essential නැත්නම් essential නැත්නම් urgent නැත්නම් non-urgent කියලා. ශල්‍යකර්මයක් නොකිරීම හරහා අදාළ පුද්ගලයා ලක්වන මානසික පීඩනය සහ ආතතිය යම් දවසක මේ ශල්‍යකර්ම එකවර කරන්න සිදුවුණොත් ඒ හරහා සිදුවන ගැටලුවට කව්ද වගකියන්නේ ?" වෛද්‍ය පාලිත රාජපක්ෂ විමසා සිටියේය.

රජයේ රෝහල්වල ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයක් !

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බවත්, වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත්, වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය කාලය පුරා පෙන්වා දුන්නේය.

ඖෂධ වර්ග 1,300ක් පමණ තිබුණත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් පැවසුවේ, ඇතැම් ඖෂධවල ප්‍රශස්ත තොග පවත්වා ගැනීමද සිදුවන්නේ ඉතා සීමිත ප්‍රමාණයකින් පමණක් බවය.

එම හිඟයත් සමග රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වූ අතර පෞද්ගලික ඔසුසැල්වලින් ලබා ගන්නා ඖෂධවල මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මේ අතර රට තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් දැනුම්වත් කළේය.

එමෙන්ම ඉන්දීය ණය ආධාර පහසුකම ලබාදී වසරක කාලයක් ගෙවී ඇතත්, ඒ යටතේ ගෙන්වන ඖෂධ වලින් 80%ක් මෙරට තුළ ලියාපදිංචි කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image