පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින්, පළාත් පාලන ආයතනවල

පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර, ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්, මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින්, පළාත් පාලන ආයතන වල නිල කාලය මාර්තු මස 19වැනිදායින් අවසන් වනු ඇත

මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද,පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

එසේම මැතිවරණ කොමිසම සඳහා අලුතින් සාමාජිකයින් පත්කිරීමට ද නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.



මැතිවරණ කොමිසම නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට



මුදල් නොමැතිවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි ලබන මස නවවැනි දා පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් මේ සතියේ දී දැනුම් දෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.



පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා ස්ථිරවම පවත්වන වන බව, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට, මැතිවරණය කොමිෂන් සභාව සභාවට නියෝග කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

එම පොරොන්දුව මත, එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉවත් කර ගැනීමට රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවෝ පියවර ගත්හ.

ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව, මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන බැවින්, මෙම මෝසම ඉදිරිපත් කරනු ඇතැයි කොමිෂන් සභා ආරංචිමාර්ග සදහන් කරයි

පළාත් පාලන මැතිවරණය ලබන මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර දැනුම් දුන් අතර, ඒ අනුව තැපැල් ඡන්දය මේ මස 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබිණි.

එහෙත් මුදල් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති අතර, තැපැල් ඡන්දය ද නියමිත පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය ලබන මස් 09වැනිදා පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි



මැතිසබයේ ලොකු අරගලයක්?

පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තුව තුළ දැඩි සටනක් කිරීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය පක්ෂය සහ  නිදහස් ජනතා සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.



මේ අතර පළාත් පාලන ඡන්දය කල් දැමීම, විදුලිය බිල ඉහළ දැමීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  පාර්ලිමේන්තුව හැකි ඉක්මනින්ම කැඳවන ලෙස නිදහසේ ජනතා සන්ධානය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්  35 දෙනකු කතානායකවරයාට සහ අගමැතිවරයාට  ලිපියක් යොමු කරමින් දැනටමත් ඉල්ලීමක් කර ඇත.



පාර්ලිමේන්තුව පෙර තීරණය කරගත් පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා අඟහරුවාදාය.

මේ සම්බන්ධයෙන් අප රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන හෙයින් හදිසියේ රැස්වීමේ අවශ්‍යතාවක් නැති බවයි.

මේ අතර රටේ පවතින තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන වැඩි කිරීමටද ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

(lankadeepa.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image