තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී ඇත.
ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී අත්හිටුවන බව දැනුම් දී ඇත.
ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අන්ත හා රජයේ නිවාඩු දින වසා දැමීමට කටයුතු කළයුතු බවද ලිපියේ දැක්වෙයි.
කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුත්තේය.
දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.
කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්ව ඇත.
කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇත.
කොමිෂන් 09යට සාමාජිකයන් තේරීම ඇරඹේ
මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන 'දේශය' පුවත්පතට පවසා ඇත්තේ, ස්වාධීන කොමිෂන් සභා 9 ක් සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම පිණිස අයැදුම්පත් කැඳවීමේදී ලද අයැදුම්පත්වලින් සුදුස්සන් තෝරාගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනාට පවරා ඇති බවයි.
ඔවුන් ව්‍යවස්ථා සභාවට ලබා දෙන නිර්දේශ අනුව ඒ ඒ කොමිෂන් සභා සඳහා පත්කෙරෙන සභාපතිවරුන් හා සාමාජිකයන් තෝරා ගැනේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද කතානායකවරයා සඳහන් කරයි.
ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා 9 ක් සඳහා ඉදිරි සති කිහිපය තුළ සුදුස්සන් පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.