පළාත් පාලන ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද

(පෙබරවාරි 21) පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දී විරෝධතාවක් සිදු කළහ.

මුදල් නොමැති බව පවසමින් රජය ඡන්දය කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය උත්සාහ කරන්නේ ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම නිසා බව විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන බව කතානායකවරයා පැවසුවේය.

 

'ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් කරන්න එපා'

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වය මැද, ජනතාවගේ ඡන්ද බලය හෑල්ලුවට ලක් නොකරන ලෙස මානව හිමිකම් හා සිවිල් ක්‍රියාකාරිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

ඒ, ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුවය.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබීම යන හේතු මත මේවන විට පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

ඒ අනුව මාර්තු 9 වැනිදා සැලැසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීම දිනෙන් දින අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට සෙසු රාජ්‍ය ආයතන වලින් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන පසුබිම තුළය.


මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කළ පෙත්සමට මොකද වෙන්නේ?

iuyier

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (පෙබරවාරි 20 වැනිදා) නියෝග කළේය.

පෙත්සම ගොනුකර අත්තේ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසිනි.

මේවන විට මැතිවරණයට අදාළව මතුව ඇති බාධා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමට අපෙක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරීස් විසින් අධිකරණයට පෙන්වා දෙනු ලැබීය.

ලබන 23 වැනිදා කැඳවීමට තිබූ මෙම පෙත්සම ඊයේ දින කැඳවන ලෙස මොසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.


''රජයේ ප්‍රමුඛතාව වැටී ඇති ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමටයි'' - ජනපති

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ (පෙබරවාරි 18) කොළඹ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.


රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරනවා – ජනපති අවධාරණය කරයි

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එනමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කළේය.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්