කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් දරුණු ගනයේ අපරාධකරුවෙකු පළා යාමේ සිද්ධියක්

සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

පළා ගිය සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24) දින රාත්‍රීයේ පැමිණ ඇතැයි  පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇත.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු, විදේශ ගත වීම වලක්වා ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත්, ලංකාව පුරා මිනීමැරුම් 09 ක් පමණ  සිදු කර ඇති අයකු බවත්, මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් පොලිසිය ප්‍රකාශකරයි.



සැකකරු අත්අඩංගුවට ගෙන මද වේලාවකට පසුව ඔහුව නිදහස් කර ගෙන යෑමට හාමුදුරුවරුන් දෙනමක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ ඇත. පසුව කළ විමර්ශන වලදී මෙම චීවරදාරීන් ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.



මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග කටුනායක ගුවන් තොටුපළ ස්ථානාධිපතිවරයාට දැනුම්දීමක් කර ඇති මිරිහාන පොලිසිය, මෙම සැකකරු අති භයානක පුද්ගලයකු බවත් ඔහුව රැගෙනයාමට මිරිහාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් එවන බවත් පවසා ඇත.

ඔහුව රැගෙන යාමට මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායම එන විට සැකකරු කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබිණ.

මොහු පොලිසියට අත්‍යවශ්‍ය දරුණු අපරාධකරුවකු බව දැනුම්දී තිබියදීත් සැකකරු සිරමැදිරියක රඳවා නොසිටීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ලවී ඇත.

මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුට පලායාමට ඉඩසලසා දී තිබීම අතිවිශාල මුල්‍ය පගාවක් මත සිදුකරනු ලැබූ ක්‍රියාවක් වියහැකි බවට මේවනවිට සැක මතුව තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්