දෙමල විමුක්ති සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිය යුතු බව අධිකරණය යළිත් වරක් අවධාරණය කර  කර තිබේ.



උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වු පිරිස් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් තුනක් 2023 පෙබරවාරි 23 වැනි සිකුරාදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී වවුනියා මහාධිකරණය විසින් හමුදාවට නියෝගයක් කර ඇත්තේ අතුරුදන්වූවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතුව පැහැදිලි කළ යුතු බවයි.

අතුරුදහන් වී සිටින්නන් සොයා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ඔවුන්ගේ බිරින්දන් ලබා දී ඇති සාක්ෂිවාචක විශ්වසනීය බව විනිසුරු අධිකරණය හමුවේ කියා සිටියේය.

යුද්ධයේ අවසන් අදියරේදී රජයේ හමුදාවන්ට බාර  වීමෙන් පසුව මේ දක්වා කිසිම තොරතුරක් නොමැති පොන්නම්බලම් කන්දසාමි (කන්දම්මාන්), සින්නතුරෙයි සසිදරන් (එළිලන්) සහ රුද්‍රමූර්ති ක්‍රිෂ්ණකුමාර් (කොලොම්බස්) යන තිදෙනා වෙනුවෙන් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් එදින විභාගයට ගෙන තිබුනි.

jds lt 1
jds lt 2

අතුරුදන්ව තිදෙනා යුද හමුදාව බාරයේ සිටිය හැකි හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කරන්නට ඇතැයි යන පදනම මත අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ‘ජයග්‍රහණයක්’ බව අතුරුදහන් කරනු ලැබූ වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ යුද සමයේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නතුරෙයි සසිදරන් (එළිලන්) ගේ බිරිඳ වන ආනන්දි ශෂිදරන් පෙත්සම්කාරිය පැවසුවාය.

 

ananthy sasitharan

ආනන්දි ශෂිදරන්

 

“අපි මේ නඩුව දැම්මේ බරපතල තර්ජන මැද. මේකෙන් පොඩි විශ්වාසයක් අපිට දැනෙනවා. අපි ඔවුන්  ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරදුන් බව අධිකරණය පිළිගෙන තිබෙනවා.” ආනන්දි ශෂිදරන් වැඩි දුරටත් සදහන් කළාය.

මේ දිනයේ සුවිශේෂී බව සුළුකොට තැකිය නොහැකි බව අතුරුදහන් එලිලන් සොයාගැනීම සඳහා පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ කෙරෙන නොනිමි අරගලය පාදක කොටගෙන වාර්තා චිත්‍රපටයක් නිමවු කන්නන් අරුණාසලම් පවසයි.

 

ananda

මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ සැමියන්ගේ, දියණියන්ගේ සහ පුතුන්ගේ සියලුම අම්මාවරුන්ට සහ බිරින්දෑවරුනට අයත් එකක්යැයි නඩු විභාගය නිමාවී ආනන්දී වවුනියාවේදී තමන් හා පැවසු අයුරු කන්නන් සමාජ මාධ්‍ය සටහනකින් ප්‍රකාශ කර ඇත.


සන්ධිස්ථානයක්

 

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කරන නඩු තීන්දුවක් ලබා දෙමින් 2022 දෙසැම්බර් 16 වැනි සිකුරාදා වවුනියා මහාධිකරණය දහතුන් වසරකට ඉහත දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන් අතුරින් අඩුම වශයෙන් එක් අයකු හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බව පළමු වරට පිළිගෙන තිබුනි.

 

හිටපු LTTE සාමාජිකයකු සොයා දීමේ වගකීම හමුදාවට පවරමින් එදින අධිකරණය රීට් ආඥාවක් නිකුත් කළ බව පවසන ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කියා සිටියේ හමුදා බාරයේදී ආගිය අතක් නැති සෙල්ලයියා විශ්වනාදන් 2023  වසරේ මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යුද හමුදාපතිටත්, 58 සේනාංකාධිපතිටත් අධිකරණය විසින් නියෝග කළ බවයි.


යුද්ධයේ අවසන් සමයේ  මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතුව ඇති බවට 2018 වසරේදී 58 වැනි සේනාංකයේත් මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති වු මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණය හමුවේ පැවසුවත් එම ලේඛනය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

පසුව ඔහු පවසා තිබුනේ තමන් සතුව ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලේඛණයක්  පමණක් බවයි.


කිසිවකු ලියාපදිංචි නෑ

FKza4gfWQAInz 9
 

උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාවට භාරවූ කිසිවකු ලියාපදිංචි නොකළ බව 2022 නොවැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකා යුද හමුදාව යළිත් වරක් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකා යුද හමුදාව ඒ බව පවසා තිබුනේ තමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදී බී. නිරෝෂ් කුමාර් තුන් අවුරුද්දකට ඉහතදී ඉල්ලා තිබුණු තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට එරෙහි අභියාචනයක් නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සලකා බලන ලද අවස්ථාවේදීය.

යුද්ධයේ අවසන් දිනවලදී යුද කලාපයෙන් පිටතට ආ ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතරින් දස දහස් ගණනක් භාරවුයේ රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද නිවේදනයට අවනත වෙමිනි.

උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන් දක්වන සංඛ්‍යාලේඛන අනුව ඒ අතර අත දරුවන් හා කාන්තාවන්ද වූහ.

2019 වසරේදී ද යුද හමුදාව විසින් දෙමළ මාධ්‍යවේදියාගේ ඉල්ලීමට අදාළ තොරතුරු ප්‍රතික්‍ෂේප කර තිබුණේ හමුදාවට භාර වූවන් අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටියේදැයි නොදන්නා බව පවසමිනි.

“යුද කලාපයෙන් ජනතාව අවතැන් උනා. එයාලා එල්.ටී.ටී.ඊ ද, මහජනතාවද, අපි දන්නේ නැහැ. අපි භාර ගන්නා විට කිසිදු ලියාපදිංචි කිරීමක් සිදු කළේ නැහැ. අපි ළඟට එන අයව අපි බස්වල අරන් ගිහින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ කඳවුරුවල දැම්මා.ඉන් පසුව පුනරුත්ථාපන කාර්යාංශය විසින්ම ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළා,” යි යුද හමුදාව සාක්ෂි දෙමින් පවසා තිබුණි.

යුද හමුදාව විසින් පවසා ඇති තොරතුරු ආණ්ඩුව විසින් වරින් වර කර ඇති ප්‍රකාශවලට පරස්පරය.
 

සුදු කොඩි
 
 
යූද්ධාවසනයේ දී සුදු කොඩි ඔසවාගෙන පැමිණ ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරවූ පිරිසක් 58 වැනි සේනාංකයට එවක අණදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් භාරගන්නා අයුරු ඇසින් දුටු සාක්ෂි ඇති බව 2013 දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළිදැක්වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිනි. ඒ භාරවුවන් අතර විමුක්ති කොටි සංවිධානයේ   දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් සිටි බව දේශීය හා ජාත්‍යන්තර කොමිසම් විසින් වාර්තා කොට ඇත.
 
 
කෙසේ වෙතත්,  ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ 2009 මැයි 18 වැනිදා නඩේසන් හා පුලිදේවන් 58 සේනාංකය විසින් මරාදමන ලද බවය.

ආරක්ෂාව පිලිබඳ රජයෙන් සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය නිසාය.

පසුව ඔහුට සහ සමීප පවුලේ සාමාජිකයන්ට විරුද්ධව එක්සත් ජනපදය විසින්  සංචාර තහනමක් පනවා තිබේ.
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්