රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය (මාර්තු 01) ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.



හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති එකමුතුව පවසයි.

හෙට දිනයේ පැවැත්වීමට නියමිත මෙම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයින් ද එක්ව සිටීම විශේෂත්වයකි.

එසේම, ලංකා බැංකු සේවක සංගමයද වැඩවර්ජනය සඳහා සහය දක්වන බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් බැංකු සේවක සංගමය සඳහන් කළේ මෙම වැඩ වර්ජනයෙන් අනතුරුව ප්‍රතිඵලයක් නොලැබුනොත්, දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යෑමට සුදානම් බවයි.

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු පාලනාධිකාරිවල විශේෂ අවධානයක් යොමුව ඇති අතර බැංකුවල ස්ථාවරයත් රටේ ආර්ථිකයත් ගැන සිතා හෙට දිනයේ දී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය බැංකු සභාපතිවරු සේවකයින්ගෙන් ඉල්ලා සිටිති.

 

ආර්ථිකයට බලපෑම් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා ! - මහජන බැංකුවේ සභාපති


වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මාධ්‍යවෙත මෙසේ පැවසිය.

''හෙට දිනයේ වෘත්තීය සමිතින් කිහිපයක් විසින් ම වැඩ වර්ජනයක් සංවිධානය කරලා තිබෙන බව අපි දන්නවා. මහජන බැංකුව ලෙස මා ඉල්ලා සිටින්නේ  මහජන බැංකුවේ සේවක සේවිකාවන් ලෙස නිසි පරිදි රාජකාරියට වාර්තා කරන්න කියා. මහජන බැංකුව මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අපි ආර්ථික ගෙනියන්න වගේම ජනතාවට, ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට සේවාවක් සපයනවා. ඒ නිසාම අපි පෙර පරිදි රාජකාරියට වාර්තා කරලා සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. උපයන විට බදු සම්බන්ධ ගැටලුවක් තිබෙනවා. නමුත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත් තීරණ අනුව අදාළ අමාත්‍යාංශවල ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් අපි කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි කවුරුත් මේ වෙලාවේ රජයට, රටට, ආර්ථිකයට බලපෑම් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා.


''බදු මුදල් අය කිරීම සහ බදු අනුපාත අඩු කිරිම පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි'' - ලංකා බැංකුවේ සභාපති


වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා මෙසේ පැවසිය.

මේ රට දැන් තියෙන්නෙ ආර්ථික වශයෙන් ඉතාම අමාරු අවස්ථාවකයි. මෙවැනි අවස්ථාවක වෘතීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයක් ප්‍රකාශය කරල තිබෙනවා.  ලංකා බැංකුවේ සභාපති හැටියට මම අපගේ සේවකයෙක් සේවකයෙක් ඉල්ලා සිටින්නේ හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි. මක්නිසාදයත් අපේ බැංකුවේ ගනුදෙනුකරුවන්ටත්  මහඟු සේවයක් ලංකා බැංකුව මගින් සිදු වෙනවා. එක දවසක් හෝ බැංකුව වසා තැබවොත් හෝ ක්‍රියාකාරීත්වය  ඇණ හිටියොත් එයින් මුළු රටටම විශාල අපහසු කමක් දැනෙනවා. ඒ නිසා මම සියලුම සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සේවයට වාර්තා කරන ලෙසයි. ඒ වගේම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ බදු මුදල් අය කිරීම සහ බදු අනුපාත අඩු කිරිම පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි. එම නිසා අපි මේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සමඟ කතාබහ කර තිබෙනවා. එම ගැටළු වලට විසඳුම් ඉදිරි ටික කාලය තුළ තුළ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. බැංකුව වෙනුවෙන් සහ බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් රාජකාරියට වාර්තා කරන්න කියලා මම අපේ සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.



.



මාසිකව ලක්ෂ ගණනින් වැටුප ලබන රජයේ සේවකයින් !


රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම සඳහා මාර්තු 1 වැනිදා වැඩ වර්ජනයට එක්ව සිටින විශ්ව විද්‍යාල, වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තියවේදීන් මසකට රුපියල් ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ලබන තැනැත්තන් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

රජයේ සේවකයින් ගෙන් අති බහුතරයකගේ මාසික වැටුප රුපියල් 50,000කටත් වඩා අඩු බැවින් රජයේ නව බදු ප්‍රතිපත්තියෙන් ඔවුනට වැඩි බලපෑමක් සිදුව නොමැති බවත්, ඒ අනුව මාසිකව ලක්ෂ ගණනින් වැටුප ලබන රජයේ සේවකයින් පමණක් හෙට විරෝධයට එක්ව ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

අමාත්‍යංශ ලේකම්වරුන්, දිසාපතිවරුන් වැනි රජයේ ඉහලම පරිපාලන නිලධාරින්ගේ මාසික වැටුප පවා රුපියල් ලක්ෂය ඉක්මවා නොයන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



සබැඳි පුවත් :
දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක් !



JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්