දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

 

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති ලෙස නිවේදනයක් නිකුත් කරමිනි.

හිටපු කතානායකවරයාගේ එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

 

 '' අද වන විට රටත් රටේ ජනතාවත් මුහුණදෙමින් සිටින බැරෑරුම් ප්‍රශ්න දෙස සලකා බැලීමෙ දි එහි අවසානයක් දැකිය හැකි තත්වයකට අප තවමත් පැමිණ නැත. එබැවින් ජනතාව තුළ පැන නැඟි ඇති අසහනකාරී තත්වය අබ මල් රේණුවකින් හෝ අප අවතක්සේරුවකට ලක් කරන්නේ නැත. එමෙන්ම මෙම ප්‍රශ්නවලට කල් පවත්නා ස්ථීරසාර විසදුමක් ලබාගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක යෙදෙන බවක් ද තවමත් පෙනෙන්නට නැත. අර්බුදයේ ගැඹුර හා එහි වපසරිය පිළිබඳව අවබෝධයෙන් යුතුව විමසා බැලීමේදි ඊට සරල හෝ ක්ෂණික විසදුම් ඇතැයි අප කල්පනා කරන්නේ නම් එය ද බලවත් මුලාවක් බව එහිදි අප අමතක නොකල යුතුය.

 

සැබැවින්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපි මුහුණ දී ඇති අර්බුදයේ ගැඹුර පිළිබඳව මෙන්ම එයට සාර්ථක ලෙස මුහුණ දී අර්බුදයෙන් ගොඩ ඒමට නම් එහිදී කෙටි හෝ ක්ෂණික විසදුම් නොමැති බව ද වටහාගෙන සිටින්නෙමු. එමෙන්ම අද වන විට අප රටේ ජනතාව මුහුණ දෙමින් සිටින බරපතල ගැටළු පිළිබඳව අතිශය සංවේදී වෙමින් එහිදී ඔවුන්ට අත්විදින්නට සිදුව ඇති ඛේදනීය තත්වයන් පිළිබඳව ද අවබෝධ කරගෙන ඇත්තෙමු.

එපමණක් ද නොව එකී ගැටළුවලට නිසි විසදුම් ලබාගැනීම සඳහා කටයුතු කල යුතු පාර්ශවයන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙන්නට උත්සහ ගනිමින් සිටින්නෙමු.

 

මෙම කරුණු පිළිබඳව සැලකීමේදී රටක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින කටුක අභියෝග කිහිපයක් තිබේ. විදේශ විනිමය හිගය එහිදී අප ඉදිරියේ ඇති ප්‍රමුඛතම අභියෝගය යි. ඒ හේතුවෙන් මතුව ඇති වේදනාත්මක ම අත්දැකීම ලෙස අප සලකන්නේ අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති කමින් රටේ සාමාන්‍ය ජනතාව පත්ව ඇති අසරණභාවය යි. මෙවැනි පරිසරයක් තුළ මෙකී ගැටළුවලට සාර්ථක ලෙස විසදුම් ලබා ගැනීමට නම් රටේ පාලන ව්‍යුහය නිසි පරිදි කළමණාකරනය කළ යුතුව ඇති අතර එහිදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ඒ සඳහා පදනමක් ලෙස නිතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමේ අභියෝගයට ද අද අප මුහුණ දී ඇති බව කිසිවෙකු හෝ අමතක නොකල යුතුය.

 

එහිදී විශේෂයෙන්ම 2022-2024 යන කාලය තුළ දී පැවැත්විය යුතුව තිබූ හා පැවැත්විය යුතු ජාතික වැදගත්කමකින් යුත් මැතිවරණ හතරක් ඇති බව ද අප හොදින් වටහාගෙන සිටින්නෙමු. ඒ පළාත් සභා , පළාත් පාලන මැතිවරණයන් හා ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ලෙසටය. එමෙන්ම එහිදී රටක් ලෙස විසදා ගත යුතු ප්‍රශ්ණ ගණනාවකට පිළිතුරු සොයාගන්නට මේ දක්වාම අප අසමත්ව ඇති බව ද අවධාරණය කල යුතුය.

නියමිත පරිදි තවමත් පවත්වා නැති පළාත් සභා මැතිවරණය හා මේ වන විට පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතුව ඇති මූලික තීන්දු ගණනාවක් නිරාකරණය කරගැනීම උදෙසා අපගේ ද යෝජනාවක් අනුව 2022 වසරේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවා ගනු ලැබූව ද එමගින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මේ දක්වාම අපොහොසත් වී තිබේ. ඒ පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් කණස්සලකි. එවන් වගකීම් පැහැරහැරීම් ගණනාවක්ම අපගේ පාර්ලිමේන්තුවෙන් සිදුව ඇති බව අවධාරණයෙන්ම කිව යුතුව තිබේ.

එවැනි තත්වයක් යටතේ වුවද මෙවන් අභියෝග ජයගැනීම උදෙසා අප පිළිතුරු ලබාගත යුතුව ඇත්තේ ද පාර්ලිමේන්තුව හරහාම වන බව අපගේ විශ්වාසය යි. ඒ අනුව පවතින මෙම වාතාවරණය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම් මගින් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග තුළින් ඒවාට කිසිදු විසදුමක් ලබාගත නොහැකි වනු ඇති බව අපගේ එකායන විශ්වාසය යි. සියළු අභියෝග ජයග්‍රහණය කරගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමී ලෙසය. එහිදී මූලික වගකීම පැවැරී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් වෙතය.

එමෙන්ම අද අප මුහුණ දෙමින් සිටින බොහෝ ප්‍රශ්ණ හා ගැටළු නිර්මාණය වීමට පදනම සකසා ඇති අප රටට ආවේණික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුවම ඇති බව දැනුවත් සමාජයේ බහුතර මතය වී තිබේ. ඒ සඳහා පරිසරය සකස්කිර්‍රමේ වගකීම පැවැරී ඇත්තේ ද පාර්ලිමේන්තුවට ය. එපමණක් ද නොව රටේ පවත්නා දූෂණය ට එරෙහිව කටයුතු කිරීමේ හා රටින් කොල්ල කා ඇති අති විශාල ධන සම්භාරය ආපසු රටට අත්පත් කරගැනීමේ වගකීම ද පැවැරෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් වෙතටය. එහිදී රටේ යහපැවැත්මට හේතු විය හැකි පනත් කිහිපයකට අදාළව කෙටුම්පත් මේ වන විට සකස් වෙමින් පවතින බව දැනගැනීමට ඇත. එහිදී අප අවධාරණය කරන්නේ එම කටයුතු නොපමාවම විය යුතුවා මෙන්ම නූතන ලෝකයට ගැලපෙන හා අපේක්ෂිත අරමුණු සපුරාගත හැකි ආකාරයට ශක්තිමත් පදනමකින් යුතුව එම කටයුතු සිදුවිය යුතුව ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ වැදැගත් පනත් කිහිපයක්ම ඉදිරි කාලය තුළ සම්මත කරගැනීමට රජය අපේක්ෂා කරන බවයි. ආර්ථික ස්ථායිකරණ පනත, විදේශ විනිමය (සංශෝධන)පනත, සුරාබදු (සංශෝධ්න) පනත, ආදායම් අධිකාරී පනත, රාජ්‍ය දේපළ කළමණාකරන පනත, ජාතික ආරක්ෂක පනත, සත්‍ය හා සංහිදියා පනත, මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මූලස්ථාන පනත ඇතුළු ඉතා වැදැගත් පනත් ගණනාවක් පිළිබඳව එහිදී ඔහු සඳහන් කරන ලදී. අප රට මුහුණ දෙමින් සිටින තත්වය සැලකීමේදී එම කටයුතු නොපමාව සපුරා ගැනීම ඉතා වැදගත්ය.

 

අල්ලස් දූෂණ විරෝධී පණත ඇතුළු ඉහත සඳහන් පණත් මෙන්ම නව ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රම හා විධි පිළිබඳ නීති රීති පාර්ලිමේන්තුවෙන් ඉදිරි මාස වලදී සම්මත කරගතහැකිනම්, අරගලයෙන්/ ජනතාවගෙන් හා සිවිල් සමාජයෙන් හඬ නඟා ඉල්ලා සිටි "සිස්ටම් චේන්ජ්" (සමාජ පරිවර්තනය) නිතැතින්ම ඇතිවනු ඇත.

 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප කිසිදු බල දේශපාලනික ව්‍යාතියක කොටස්කරුවන් නොවන එවැනිම වූ සිවිල් හා වෘත්තික මට්ටමේ සංවිධාන රාශියක් සමග මෙන්ම ආගමික නායකත්වයන් සමග නිරන්තර සංවාදයක නිරතව සිටින්නෙමු. රට මුහුණ දී ඇති අභාග්‍යසම්පන්න ත්ත්වය පිළිබඳව මෙන්ම එහිදී රටක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අපි අවධානය යොමුකරවමින් සිටින්නෙමු. එමෙන්ම අත්‍යවශ්‍යයෙන්ම රට තුළ සිදුකල යුතුව ඇති දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා ගැන මූලික වාර්තා කිහිපයක්ම රට හමුවේ තබා ඇත්තෙමු. එමගින් අප අපේක්ෂා කරන්නේ වඩා යහපත් වූ රටක් අපගේ අනාගත පරම්පරාවට හෝ උරුම කර දෙන්නටය.

පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් ඇති වී තිබෙන මෙම අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ වී ඇත. පසුගිය දා කොළඹදි පැවැති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදි මුහුණ දීමට සිදු වූ අවාසන්වන්ත තත්වයක් තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි මරමුවට පත් වූ ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශිය සභා අපේකෂක නිමල් අමරසිරි මහතාගේ හදිසි අභාවය පිළිබඳව අප බලවත් ලෙස සංවේගයටත් කම්පාවටත් පත්ව සිටින්නෙමු. එවැනි සිද්ධීන් ඇති නොවීමට වගබලාගැනීම රජයේත්, විපක්ෂයේත්, පොදුවේ සියළු ජනතාවගේත් ජාතික යුතුකමකි.

 

 '' සමස්ත ජාතියම අපේක්ෂා කරන එම අරමුණ ඉටුකර ගැනීමට නම් අන් සියල්ලටම පෙර අප එක්සත් විය යුතුය. නිශ්චිත කෙටි කාලසීමාවකට හෝ දේශපාලන හෝ වෙනත් බල අරමුණුවලින් බැහැර වී සාමුහිකව කටයුතු කල යුතුය. එහිදී රට අරාජික කිරීමට යම් හෝ බලපෑමක් විය හැකි කිසිදු කටයුත්තකට දායක නොවීම පරම වගකීමක් ලෙස සැලකිය යුතුව තිබේ. ඒ අනුව කෙටි කාලසීමාවකට හෝ සටන් විරාමයක් රට ට අවශ්‍යය.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්