රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් යළි දැනුම් දෙන තුරු ඇප මුදල් භාර නොගන්නා ලෙස

නියෝග කරනු ලබමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පසුගිය ජනවාරි මස නිකුත් කළ ආන්දෝලනයට තුඩු දුන් චක්‍රලේඛයට පදනම් වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් බව ‘ඉරිදා මව්බිම’ අනාවරණය කර ඇත.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ‘මව්බිම’ ලබාගත් තොරතුරුවලට අනුව එම අනාවරණය සිදුකර තිබේ.

එම පුවත් අනාවරණයේ මෙසේද සඳහන් වේ.



''නැවත දැනුම් දෙන තුරු ඇප මුදල් භාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට කැබිනට් මණ්ඩල නියෝගයක් නොකළ බවට රජය ප්‍රකාශ කළ ද එවැනි නියෝගයක් ලබා දී තිබේ. ඒ අනුව, මෙවැනි තීරණයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරනු ලැබූ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව තහවුරු වේ.



කැබිනට් කාර්යාලය අමාත්‍යංශ ලේකම්වරයා වෙත 23/ එම්.අයි.එස්.සී. (001) අංකය යටතේ නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයෙහි අනු අංක දෙක යටතේ සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන්ගේ ඇප මුදල් භාර නොගන්නා ලෙස ය.

මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පත්වීම පිළිබඳව රජයට දැනුම්දීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලකා බලන ලෙස ද එහි අනු අංක එකෙහි දක්වා තිබේ.

එසේ ම, පළාත් පාලන ජන්දය සඳහා ඇප මුදල් භාර ගැනීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සමාව ගෙන නොමැති බවත් තහවුරු වේ.

එසේ ම, ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව ගත් බවට කිසිදු ලිඛිත තොරතුරක් නොමැති බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවැසීය.

ඔහු එලෙස සමාව නොගත්තේ, අංක 23/ එම්.අයි.එස්.සී.ඕ. (001) සහ 2023.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

මැතිවරණ කොමිෂන් සභාව එල්.ඒ.ඊ./2023/13 අංක යටතේ 2023.01.13 දින මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අස්සනින් යුත් ලිපියේ සඳහන් කර ඇත්තේ, අදාළ ලිපිය නිකුත් කිරීම මත මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව නීල් බණ්ඩාර හපුහින්න පැවසූ බව ය.



එසේ ම, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නට එරෙහිව කිසිදු පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනවාරි 23 වන දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. ඔහුගේ මෙම ක්‍රියාව හේතුවෙන් කිසිදු බලපෑමක් නීතිමය ආකාරයකට සිදු වී නොමැති බවත් එවැනි වැරදීම් මීට පෙරත් අමාත්‍යංශ ලේකම්වරුන් අතින් සිදු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.


මේ සම්බන්ධයෙන් ජනවාරි 17 වන දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ලද අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවැසුවේ, “පළාත් පාලන මැතිවරණයේ තැන්පත් මුදල් ලබා ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා ද කියන එක. එසේ නැහැ. අපි සෑම කැබිනට් මණ්ඩල රැස්වීමකදී ම රටේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. කවුරු හරි එහෙම කිව්වා නම් ඒක වැරදි ප්‍රවෘත්තියක්. නොමග යවනසුළු ප්‍රවෘත්තියක්. මේ ඡන්දය නැවැත්වීම ගැන අපි කිසි ම අවස්ථාවක එවැනි නියෝගයක් දීලා නැහැ,” යන්නයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් කොමිෂන් සභාවෙන් සමාව ගත්තේ ද, ඒ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබඳව විමසමින් තොරතුරු පනත යටතේ ඉල්ලුම් කරන ලද තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙතෙක් නිකුත් කර නොමැත.

(mawbima.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්