උද්ධමනය වැඩි වෙන වේගය සියයට  50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


ආහාර උද්ධමනය ද සියයට  54% ක් දක්වා අඩු වී තිබෙන බවද ඔහු කීය.

පොහොර ලබාදීමත් සමඟ යල සහ මහ කන්න වල සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට යම් දුරකට විසඳුම් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම, අඛණ්ඩ විදුලිය, ගොවීන්ට පොහොර, සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අතිරේක මුදල් ලබාදීම ආදි විවිධ ක්‍රියාමාර්ග රජය ක්‍රියාත්මක කළ බවත් කලින් ක්‍රියාත්මක කරන ලද හදිසි බදු කප්පාදුව රජයේ ආදායම අඩුවීමට හේතු වූ බැවින් බදු ආදායම වැඩිදියුණු කිරීම සඳහා 2019 දී ක්‍රියාත්මක කරන ලද බදු ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කළ බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තවදුරටත් කියා සිටියේය.
 
 
 
2022 දී රටේ පැවති අහිතකර තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය අසාර්ථකත්වයට පත් විය. කෙසේ වෙතත් මේ වසරේ තත්ත්වය යහපත් අතට හැරෙන බවට ඉඟි පළවෙමින් පවතින බවට ජනාධිපති වික්‍රමසිංහ පැවසිය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය අතිශය දුෂ්කර ආර්ථික ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, ආර්ථික වර්ධනය තහවුරු කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවත්, සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 
''අපේ යුතුකම කරලා ඉවරයි ''



ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම මාර්තු මස අගවන විට ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කළේය.

චීන එක්සිම් බැංකුවෙන් චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ ලිපිය ඊයේ රාත්‍රියේ ලැබුණු බවත් ජනාධිපතිවරයාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුත් එකඟතා ලිපිය ඊයේ රාත්‍රියේම IMF වෙත යැවූ බවත් ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

"මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට අපි සමාව ඉල්ලනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වන හෝ හතරවන සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙන්න එනවා.

 IMF සංවිධානය සමග මීට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබාගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙළා ඉටුකළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF සංවිධානය ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ නෑ. ඒ තත්ත්වය යටතේ බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය මුල්‍ය ආයතන සමග කටයුතු කිරීමට ඉඩකඩක් ඇති වන්නේ නෑ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඬාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහු පාර්ශවීය මුල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවනවා. IMF සංවිධානය සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදුවෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6 - 7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නෑ. ඒ නිසා IMF සංවිධාන මැදිහත් වී විදේශ ණයකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවය ගැන කථිකාවත දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්පයක් නැත.

IMF ආයතනය සහ අප සිදුකරන එකඟතා ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වන විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමතියි. අපි අතිශ්‍ය අසීරු ආර්ථික පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීකරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කරගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑමදෙනෙක්ටම මෙමගින් ඇතිවන පීඩා දිගටම පවතිනවා.  මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වය මැද අප පසුගිය මාස 7 - 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්න ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේ ගැන රටේ සෑමදෙනාම අවබෝධ කර ගත යුතුයි. ''


උද්ඝෝෂකයින් ට රතු එළියක් !
 
 
 
මහජනයාගේ භාෂණයේ අයිතිය පිළිගත් ජනාධිපතිවරයා, ඕනෑම ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට මුහුණ දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, තවත් ජූලි 09 වැනි තත්ත්වයක් යළි රට තුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටි අතර රට තුළ අරාජිකත්වය වැළැක්වීම සඳහා කැප වූ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ස්තූතිය පුද කළේය.
 
 
''විවිධ බලපෑම් දේශපාලන පක්ෂ, ස්වෙච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. බදු බර වැඩියි කියා වෘත්තීකයින් කියා සිටිනවා. එසේ වුවත් කෙටිකාලයක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩා කප්පල් කළොත් දැනට 2022 - 2023 පෙබරවාරි මාසය පැවති තත්ත්වය වඩා භයානක තැනට රට තල්ලු වෙයි. එවිට වැටුප් නැතිවෙයි. විශ්‍රාම වැටුප් නැතිවෙයි. රැකියා නැතිවෙයි. කර්මාන්ත වැසී යාවි, පාසල් හැමදාම වැසෙයි. ඒවා යම් තරමකට දැන් පාලනය කරගෙන තියෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අපි යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශය භයානක වෙයි. මෙතෙක් නොදුටු දුක්බර කාලයක් ඇතිවෙයි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ වැඩකටයුතු කරන්න රැස්වීම් පවත්වන්න, පෙළපාළි පවත්වන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුව තදින් ක්‍රියාකරනවා. ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වය නෑ. අද ඩොලර් එකත් පහළට යනවා. අපේ විශාල හිඩසක් ඇති වුණා. කාගේවත් සහායක් තිබුණේ නෑ. මම ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා. අද විදුලිබලය තියෙනවා. වැඩිකල් යන්න කලින් ඩොලර් තියෙයි. බලවේගවලට මේවා කඩන්න අපි ඉඩදෙන්නේ නෑ. විපක්ෂයෙන් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න ආර්ථිකය ගොඩ ගන්න. ඊළඟ ඡන්දේ තීරණය කරන්න මහමැතිවරණයේදී කවුද ඕනේ කියලා."


විපක්ෂයට ආරාධනා !
 
 
 
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා, රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බවටත් පාර්ලිමේන්තුව අමතමින් සහතික විය.
 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළැඹුණු පසු එම ගිවිසුම, රජයේ ඉදිරි සැලසුම් සහ මාර්ග සිතියමේ කෙටුම්පත සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහතික විය.


 




 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්