පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උසස් පොලිස් නිලධාරීයෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කර සිටියි.



එහි මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ එවැනි නිලධාරියෙකු පොලිස්පති ධූරය සඳහා පත්කළහොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිදු කරන ඉමහත් අපහාසයක් බවයි.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් හා අමතර වගකීම් ලබාදීම අනුමත කළ නොහැකි බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එහිදී පැවසුහ.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි වළක්වා නොගත් පොලිස් නිලධාරීන් පිළිබඳ සත්‍ය යටපත් කරමින්, දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් ඉහළ තනතුරුවලට පත්කරගැනීමේ ව්‍යායාමයක් ගැන අසන්න ලැබෙන බවත්, එවැනි පියවරයන් ගතහොත් කතෝලික සභාව ඊට විරෝධය පළ කරන බවත් පියතුමන් සඳහන් කළහ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම මහා අපරාධයක් වන අතර, එවැනි පුද්ගලයන් පොලිස්පති හෝ වෙනත් තනතුරුවලට පත්කරනවා නම් එය අහිමි වූ අහිංසක ජීවිතවලට හිනාවීමක් බව ද පියතුමෝ පැවසූහ.

 

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිෂන් සභා තුනක වාර්තා මේ වන විට එළිදැක්වී ඇති බවත්, ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් සහ කටාන පොලිස් ස්ථානාධිපති චමින්ද නවරත්න යන අයට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බව නිර්දේශ කර ඇතැයි ද පියතුමන් කියා සිටියහ.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතත්, පොලිස්පතිවරයා එම ලිපි ලැබුණු බවටවත් පිළිතුරක් හෝ එවා නැතැයි ද පියතුමා පැවසුහ.

ඒ වෙනුවට කර ඇත්තේ ඔවුන්ට උසස්වීම් සහ අමතර වගකීම් පැවරීම බවත්, පාස්කු ප්‍රහාරයට වසර 4ක් ගතවුවත් ඒ පිටුපස ඇති සත්‍ය තාම හෙළිදරව් වී නැති බවත් සිරිල් ගාමිණී පියතුමා කියා සිටියහ.

 

මෙම ජනාධිපති කොමිෂන් සභාව සඳහා නවකෝටි දහතුන් ලක්‍ෂයකට වැඩි වියදමක් දරා ඇති අතර, එහි නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මහජන මුදල් නාස්තියක් බව ද පියතුමා පැවසුහ.

 

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් නිකුත් කළ නිවේදනයක් ද පියතුමන් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය කුමන බාධා පැමිණියත් අත්අරින්නේ නැතැයි එහි දැක්වේ.

එමෙන්ම ජනතාවට තමන්ගේ මතය, ස්ථාවරය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රධානම අවස්ථාව මැතිවරණය බැවින් මැතිවරණ කල්නොදා පැවැත්වීම අත්‍යවශ්‍ය බව ද පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.




JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්