මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවා ඇත.



ඒ මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා බවට වාර්තා වේ.

ඒ අනුව එලෙඹන 13 වන සඳුදා දින අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකයකු වූ මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඒ සම්බන්ධයෙන් පැවසුයේ, මානව හිමිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් හරහා වාර්තාවක් කැඳවා අධ්‍යයනය කිරීම මිස එහි විෂය භාර ඇමතිවරයා කැඳවීම නොවන බවයි.

ඒ අනුව, විරෝධතා විසුරුවාහැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම පළමුව කළ යුතුව තිබුණේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැඳවීම නොව විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා එය අධ්‍යයනය කිරීම යැයි ආචාර්ය මහානාමහේවා කීය.


''මානව හිමිකම් කොමිසම උසාවියක් නොවෙයි''


මානව හිමිකම් කොමිසමේ බලසීමාව ඉලක්ක වන්නේ, මානව හිමිකම් ගරු කරන සංස්කෘතියක් බිහි කිරීම යැයි කී හෙතෙම, මානව හිමිකම් කොමිසම යනු, උසාවියක් නොවන බැවින් එහි නිර්දේශ නියෝග බවට පත්නොවන්නේ යැයි අවධාරණය කළේ ය.

මෙම සිදුවීමේදී මහජන හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු යැයි ද එසේ නොවුවහොත් යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ආදී කරුණු මුල් කර ගෙන ජනාධිපතිවරයාද කැඳවීම දක්වා කරුණු දිග්ගැසිය හැකි යැයි ආචාර්යවරයා පැවසීය.

මානව හිමිකම් කොමිසමේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙසේ ද පැවසීය.

“1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 වැනි වගන්තියේ කොමිසමට ඇති බලතල ගැන සඳහන් වෙනවා. 11 (අ) යම්කිසි මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝණය වීමක් හෝ අත්‍යාසන්න අවස්ථාවකදී පනතේ සඳහන් වගන්ති අනුව විමර්ශනයක් කරන්න පුළුවන්. ඒ විමර්ශනය කරද්දී ඒක ප්‍රාදේශීය මට්ටමින් හෝ කාර්යාල මට්ටමින් කළ හැකියි. මෙතැන මූලික ප්‍රශ්නය වෙන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවක් කියන්නේ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ විට ඊට දඬුවම් කරන ආයතනයක් නෙවෙයි. ඒ වගේ ම, අධිකරණයක් හෝ අර්ධ-අධිකරණයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බලසීමාව සමග සැසඳූ විට මානව හිමිකම් කොමිසමට වැඩිවශයෙන් තිබෙන්නේ මානව හිමිකම් වර්ධනය කිරීමට, ආරක්ෂා කිරීමට, ගරු කිරීමට අදාළ අධ්‍යාපන වැඩකටයුතුයි. උල්ලංඝණය කිරීමකදී විමර්ශනයකින් පසුවත් කළ හැක්කේ නිර්දේශ පමණයි. නිර්දේශයක් කියන්නේ නඩු තීන්දුවක්වත් ප්‍රදානයක්වත් නෙවෙයි. ප්‍රදානයක් බේරුම්කරණයට දිය හැකියි.

මානව හිමිකම් කොමිසමේ බලසීමාව ඉලක්ක වන්නේ මානව හිමිකම් ගරු කරන සංස්කෘතියක් බිහිකිරීම බව අපි මුලින් ම තේරුම්ගන්න ඕනෑ. කොමිසම ඒ සඳහා වගවීමෙන් ක්‍රියා කළ යුතුයි. මානව හිමිකම් පොදුරාජ්‍ය මණ්ඩලයීය ආයතන සහායත් ඊට ලැබෙනවා. මානව හිමිකම් උල්ලංඝණයවීමක් ගැන කවුරු හරි වාර්තා කළොත් මුලින් ම කළ යුත්තේ වාර්තාවක් කැඳවීමයි. ලෝකයේ සෙසු රටවලත් සම්ප්‍රදාය එයයි. ඒ වාර්තාව කැඳවන්නේ අමාත්‍යවරයාගෙන් නෙවෙයි. අමාත්‍යංශ ලේකම්වරයාගෙන්. ලේකම්වරයා ඒ වාර්තාව පිළියෙල කළ විට කොමිසමේ විමර්ශන නිලධාරීන්ට එය අධ්‍යයනය කර අදාළ පිරිස්වලින් කටඋත්තර ගෙන විභාගයක් කළ හැකියි. සාමාන්‍යයෙන් පිළිගත් අන්තර්ජාතික ප්‍රමිතිය වන්නේ වාර්තාවක් කැඳවා කොමිසමේ සාමාජිකයන් විසින් එය අධ්‍යයනය කරනු ලැබීමයි. අදාළ රාජ්‍ය නිලධාරීන් සමග ගනුදෙනුවකට යන්නේ දෙවන අවස්ථාවේදීයි. මේක ඇත්තට ම සාකච්ඡාවක්. මානව හිමිකම් විමර්ශනය සිදුවන්නේ රාජ්‍ය හා ජාතික ආරක්ෂාව යන කරුණුත් සැලකිල්ලට ගෙනයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත් යම් යම් සීමාවන්ට යටත් වෙනවා.

 

මානව හිමිකම් කොමිසමේදී මේ ක්‍රියාවලිය සිදුවන්නේ නඩුවක් අහනවා වගේ නෙවෙයි. උදාහරණයකට විදුලි බිල වැඩි කිරීමේ අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසමේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවා එකඟතාවකට ආවා. හැබැයි ඒක රජයේ ප්‍රශ්නයක් නිසා ක්‍රියාත්මක කරන්න බැරිවුණා. මානව හිමිකම් කොමිසමට අපහාස වූ බවට ඔවුන් එය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් එය ඉදිරියට පවත්වාගෙන ගියේ නෑ. මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන දහස් ගණනක් වූ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑනේ. එතකොට අපට පේන කාරණාව වන්නේ මෙහි අරමුණ මානව හිමිකම් සුරකින යාන්ත්‍රණයක් සැකසීම බවයි.

 

"පූර්වාදර්ශය වැරදුණොත් ජනාධිපති ගෙන්වීම දක්වා යාවි"


මහජන ආරක්ෂාව භාරව ඇමතිවරයෙක් ඉන්නවා. හැබැයි ඇමතිවරයා ඉන්නේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට අදාළවනේ. එහෙම නම්, ජනාධිපතිවරයා කැඳවීම දක්වා මේක යන්න පුළුවන්. මොකද යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නේ හා ජාතික ආරක්ෂාව භාරව ඉන්නේ ජනාධිපතිවරයා. එහෙම වෙන්නේ නෑ.

මෙතැනදී අපි බලන්න ඕනේ පුද්ගලයන් කැඳවීම හෝ රහස්‍ය තොරතුරු ගැනීමට වඩා රාජ්‍ය ආරක්ෂාව පැත්තෙන්. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු අනාවරණය කරන්නේ නෑ. මේ විදිහට ගියොත් ආරක්ෂක කවුන්සිලයේ වුණත් තොරතුරු ඉල්ලන්න පුළුවන්. එකවර ඇමතිවරයෙකු ගෙන්වීම නෙවෙයි විය යුත්තේ. ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා සාකච්ඡාවකට යාමයි. අනෙක් කරුණ වන්නේ මානව හිමිකම් නිර්දේශ ඉටු නොකළොත් කරන්නේ කුමක්දැයි මානව හිමිකම් පනතේ නෑ. 1990 භාෂා කොමිසම මීට වඩා ප්‍රබලයි. භාෂා කොමිසමේ නිර්දේශයක් ක්‍රියාත්මක නොකළා නම් දින 120ක් තුළ මහේස්ත්‍රාත් අධිකරණයටත් එතැනින් ඔබ්බට මහාධිකරණයටත් යා හැකිව තිබුණා. එහෙම නම් මානව හිමිකම් කොමිෂන් සභා පනත වෙනස් වෙලා නිර්දේශ බලගන්වන්න ඕනෑ.”

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්