අද (13) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර තිබේ.



නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ කැඳවීම සිදුකර නොමැති බැවින් කොමිසම හමුවේ පෙනී නොසිටීමට තීරණය කළ බවත්, ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසම වෙත ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ටිරාන් අලස් අමාත්‍යවරයා පවසයි.

සිසු හා ජන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සරසවි සිසුන් පසුගියදා කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලීසිය කළ පහර දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව, එම පොලිසිය කළ පහර දීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හමුවට කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසන් සභාව පවසන්නේ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබු ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ටිරාන් අලස් 2023 මාර්තු මස 13 වැනි සඳුදා දින පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත කැදවා ඇති බවයි.

HR Letter

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනය කර ඇති පරිදි පොලිසිය එල්ල කළ විෂ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරී ප්‍රියන්ත වන්නිනායක මරුමුවට පත් වී ඇත.

මැතිවරණ කල් දැමීමට විරෝධය පළ කිරීම හා ත්‍රස්ත පනත අහෝසි කිරීමට බලකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ උද්ඝෝෂණයට මාර්තු 7 වැනි දා පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාරවලින් කොළඹ සරසවිය තුළ සිටි විරෝධයට සම්බන්ධ නොවූ සිසුන්ට, ආචාර්ය මණ්ඩලයට හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට හානි සිදුවිය.

එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක සාමාජිකයකු මියගොස් ඇති බව මරුමුවට පත්වීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතු යැයි පසුදා මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ චෝදනා කළේය.

‘‘ඊයේ කදුළු ගෑස් ගහද්දී, ඊයේ ජල ප්‍රහාර ගහද්දී, විශ්වවිද්‍යාලය ඇතුළට අවි අමෝරාගෙන පැමිණිලා කදුළු ගෑස් ගහද්දී ඒ කදුළු ගෑස් ප්‍රහාරයට ලක්වෙලා අභ්‍යන්තර ආරක්ෂක අංශයේ සහෝදරයෙක් අසනීපයට පත්වෙලා, අපහසුතාවයට පත් වෙලා යනවා ඒ ළඟ තියන වොෂ් රෑම් එකකට. ටික වෙලාවක් හිටියට පස්සේ ඔහුව රෝහල් ගත කරනවා. අද උදේ වෙනකොට ඔහුව ඝාතනය උනා කියලා. දැන් සමාජ මාධ්‍යවලත් වෙනත් මාධ්‍යවලත් මේ සියලු දේ වාර්තා වෙලා තියනවා."

 

නීති පීඨයේ සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ පොලිසිය සහ කැරළි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් භාවිත කරමින් සිදු කළ මෙම ප්‍රහාරය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි අපහසුතාවයට පත් වූ අතර සිසුන් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු වූ බවයි.

 

මාර්තු 7 වැනි දා පොලිසිය එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මාර්තු 8 වැනි දා සංවිධානය කළ පා ගමනක් විසුරුවා හැරීමටත් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර හේතුවෙන් පාසල් සිසුන් ද පීඩාවට පත්විය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරන්නේ මාර්තු 8 වැනි දා කැලණිය විශ්වවිද්‍යාලය තුළට අනවසරයෙන් ඇතුළු වී සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් ද කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සහ එක් සිසුවියක් ද රෝහල්ගත කළ බවයි.

" තෙවන වසර කණ්ඩායම් නායක සචින් කස්තුරි ස⁣හෝදරයාගේ වම් කකුලේ මහපටඇඟිල්ල වෙන් වන මට්ටමට ගැඹුරු කැපුමක් සිදුවී තිබුණු අතර ඔහුගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශයට හා හිසට තුවාල සිදු වී තිබේ. තෙවන වසරේ ඉරේෂ් මධුසංඛ සහෝදරයාගේ දකුණු අත උරහිස අසල අස්ථි වෙන් වී බරපතල හානි සිදු වී ඇති අතර ඔහු තවමත් කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. කඳුළු ගෑස් ප්‍රහාර වැදීමෙන් හා වතුර ප්‍රහාරවලින් මස් පිඬු ඉරී ගිය සහෝදරියක් රාගම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි." යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කර තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 26 වැනි දා පැවැති විරෝධතා උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් රෝහල් ගත කළ ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි ද පෙබරවාරි 27 වැනි දා මිය ගියේය.


"කඳුළු ගෑස් මිලියන විසි ගණනක කඳුළු"


ශ්‍රී ලංකාවේ වසර 10ක් තුළ කදුළු ගෑස් භාවිතය ගැන කළ සොයා බැලීමකින් පසුව සකස් කරන ලද වාර්තාවක් "කඳුළු ගෑස් මිලියන විසි ගණනක කඳුළු" මැයෙන් සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම මාර්තු 7 වැනි දා එළි දැක්වූ අතර එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය 2022 වසරේ දී එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වූ කඳුළු ගෑස් බව සනාථ කළ හැකි තොරතුරු පවතින බවයි.

ශ්‍රී ලංකාවේ පොලිසිය සතුව කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ 31735ක් ඇති බව එම සමීක්ෂණයේ තොරතුරු එලි දක්වමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසීය.



කෙසේවුවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඊයේ (මාර්තු 12) පැවසුයේ, විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් භාවිත කරනු ලබන කදුළු ගෑස් කල් ඉකුත් වූවා යැයි එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අහිතකර දේ භාවිත නොකරන බවත් ය.

මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් චෝදනා එල්ල කර ඇති නමුත් පොලිසිය විසින් මහජන විරෝධතාවක් පාලනය කිරීම සඳහා දින ඉකුත් වූ කදුළු ගෑස් භාවිත කරනු ලැබීමක් සිදු නොවන බව ද හෙතෙම කීය.

තමා මේ පිළිබඳව මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් තොරතුරු විමසා සිටිය බවත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින කඳුළු ගෑස් තොගයන්හි කල් ඉකුත් වූ ඒවා නොමැති යැයි ඔහු දැන්වූ බවත් ඔහු සඳහන් කළේ ය.

 

ඕනෑ ම නිෂ්පාදන භාණ්ඩයක දින ඉකුත් වීමෙන් පසු ඒවගේ ක්‍රියාකාරිත්වය නියමිත ආකාරයෙන් සිදු නොවන බවත් එම තත්ත්වය කඳුළු ගෑස්වලට ද පොදුව පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. පොලිසිය භාවිත කරන කදුළු ගෑස් සඳහා නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වුවහොත් විරෝධතාවක් විසුරුවා හැරීමට අවශ්‍ය ශක්තිය එහි අඩංගු නොවන බවත් දින ඉකුත් වීමෙන් අනතුරුව ඒවා භාවිත නොකරන බවත් ඔහු සඳහන් කළේ ය.

 

එවැනි ක්‍රියාකාරීත්වයක් නොමැති උපකරණයක් භාවිත කිරීමෙන් පොලිසිය බලාපොරොත්තු වන සාර්ථකත්වය ලබා ගත නොහැකි බවත්, එමගින් නිකුත් කරනු ලබන ගෑස් සීමා වන බව ඒ පිළිබඳව කටයුතු කරන මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බවත් ඔහු පැවසුවේ ය.


සබැඳි පුවත් :

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්