පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'පැෆ්රල්' සංවිධානය පවසයි.



එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය.

"මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ."

"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා."

"නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ."

"ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි."


මැතිවරණ කොමිසමේ තීරණය කල් යයි !


2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර තිබිණ.

අද දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි.

මේ අතර අද සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.


කළුතර ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීම වළක්වාලමින් තහනම් නියෝගයක්


මේ අතර කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම ප්‍රාදේශීය සභාව සඳහා නව ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

පෙත්සම්කාර 'නව ලංකා නිදහස් පක්ෂයේ' ලේකම් ඩබ්ලිව්.කේ.ටී.වරාගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නාමයෝජනා පත්‍රය සමග ඉදිරිපත් කළ එක් දිවුරුම් පෙත්සමක සාම විනිසුරුගේ නිල මුද්‍රාව නොමැති බව සඳහන් කරමින් එම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බව කියා සිටියේය.

එහෙත් එම නාමයෝජනා පත්‍රය සමග ඉදිරිපත් කළ සෙසු දිවුරුම් පෙත්සම් වල අදාළ නිල මුද්‍රාව තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවාදායකයාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් කලුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්