පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත් වන අතර නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ටත් පැවරෙනු ඇතැයි වාර්තාවේ.

ඒ අනුව පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ මන්ත්‍රිවරුන් භාවිත කරන රජයේ දේපළ යළි භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඉකුත්දා දැනුම්දීමක්ද සිදුකර තිබිණ.

මෙරට පළාත් පාලන ආයතන 341න් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන ඉකුත් 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර 4 කාලයක් සදහා ක්‍රියාත්මක විය. එම පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කෙරුණේ පසුගිය වසරේ රට තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතට අනුව ඊයේ දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත් කර ගැනීමට නියමිතව තිබුණ ද එම ඡන්ද විමසීම කල්ගොස් ඇති පසුබිමක් තුළ අදාළ ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමෙන් පසු එම ආයතන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර 'නෙත් නිවුස්' වෙත මෙලෙස අදහස් පළ කළේය.



පළාත් පාලන ඡන්ද විමසීම කල්ගියහොත් පළාත් පාලන ආයතන නියෝජිතයින් 8,700කට ආසන්න පිරිසකට මාසික වැටුප් සහ දීමනා සදහා වැයවූ  රුපියල් කෝටි 17 ක පමණ මුදලක් ඉතිරි වන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙහිදී කියාසිටියේය.



මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වන දා සිදුකිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත්තේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සඳහා මුදල් ගෙවීම් සිදු කරන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා භාර දිය නොහැකි බව ය.

තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්වීමට නම් ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කර ඇත.


 

JW

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය