වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.



වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ (22) කැඳවා තිබූ අවස්ථාවේදී ඒ බව අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක්, කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් නම් කර තිබේ.

 

එම පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියේ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇති බවය.

 

ඒ අනුව අමෙරිකානු ඩොලරය රුපියල් 203 ක අගයක ස්ථාවරව රඳවා ගැනීම, 2022 ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මෙරට විදේශ සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම යන කාරණා තුන පිළිබඳ විමර්ශන පවත්වා වාර්තාව ඉදිරිපත් කර තිබේ.

රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව දැනුම් දුන් අතර එහි පිටපත් විවෘත අධිකරණයේදී විනිසුරුවරුන් වෙත භාරදුනි.

මෙම පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 05, 06, 07, 11, 12 සහ 13 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනු ලැබීය.


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්