මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට

විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රීඩා සහ  අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.


# සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර

# දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය

# පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්


සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෑම වසරකම අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වසර කිහිපයක් තුළ මෙරට බිහිකළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු අතර ඒ අනුව ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

කොළඹ ප්‍රධාන පාසල් ප්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස උපදෙස් දුන්  ජනාධිපතිවරයා,  බේස් බෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ ප්‍රධානම රට බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවද කියා සිටියේය.

විවිධ ක්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ්‍රාම ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සුදුසුකම මුලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

අද පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රධාන ක්‍රීඩා පථය, බේස් බෝල් පිටිය සහ පුහුණු ක්‍රීඩා පථය වෙත ගොස් එහි ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහ  නිරත විය.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් සදහා ඇති පිහිණුම් තටාකය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රීඩා පථ ඇතුළු බොහෝ ස්ථාන පුහුණු කටයුතු සදහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.

ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර ඇති බවත්, නිලධාරීන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අනවශ්‍ය වියදම් පෙන්වා දීම සිදු නොකළ යුතු බවත් පැවසූ අතර, එලෙස මුදල් ලබා දීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නැති බව කියා සිටියේය.

මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේ  ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති අතර, වැය කරන සෑම සතයක් පිළිබදවම රජය වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.



ක්‍රීඩා විශ්ව විද්‍යාලයක්

දිවයිනේ සියලුම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අභ්‍යාවල නිරත විය හැකි සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පවත්වාගෙන යා යුතු බවට වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එය ඉදිරියේ දී ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කළහැකි ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් බවට පත්කර ගැනීමේ ඉලක්කය අනුව කටයුතු කළයුතු බව ද  පැවසීය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි විසින් මෙහිදී ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනු ලැබිය.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}Sport Rw{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්