ඉන්දු - ලංකා කතෝලිකයන්ගේ පුජා භුමියක් සැලසුම් සහගතව බෞද්ධකරණය කරමින් සිටින බවට එල්ල වන චෝදනා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අවුලකට තුඩුදීමේ ලකුණු පහල වීමත් සමග එහි කිසිදු ස්ථිර බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි නොකරන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සහතික වී තිබේ.


කතෝලික පුජකයන් මෙන්ම උතුරේත් තමිල්නාඩුවේත් දෙමළ මහජන නියෝජිතයන් විසින් ද හෙළි කර ඇත්තේ අවුරුද්දකට වතාවක් පෝක් සමුද්‍රය දෙපස කතෝලිකයන් වන්දනාමාන සඳහා පැමිණෙන කච්චතීවු ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිහිටි දුපතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝ ගසක් සිටුවා බුදු පිළිම දෙකක් ස්ථාපිත කර ඇති බවයි.

රජයේ හමුදාවක එම ක්‍රියා පිළිවෙත ඉන්දීය දේශපාලකයන්ගේ ද බලවත් විරෝධය ඇවිලවීමට හේතුවී ඇත්තේ කලාපයේ ආගමික සංහිඳියාවට මෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවටත් හානිකරන්නක් ලෙසිනි.

බුදු පිළිම වහාම කච්චතීව් භූමියෙන් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඉන්දීය ආණ්ඩුවට බලකෙරෙන හදිසි යෝජනාවක් විපක්ෂ මන්ත්‍රී ආචාර්ය තොල්කාප්පියම් තිරුමාවලන් විසින් ලෝක් සභාවට ඉදිරිපත් කර ඇති අතර දූපත ආපසු ඉන්දියාවටම පවරා ගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රී ආචාර්ය එස් රාමදාස් ඉල්ලා තිබේ.

signal 2023 03 28 155218 002

“මෙම ක්‍රියාව තමිල්නාඩුවේ සහ ඊළමේ දෙමළ ජනතාවට එරෙහි වන්නක් පමණක් නොව, ඔවුන්ගේ ආගමික අයිතිය උල්ලංඝනය කරන්නක්ද වෙයි,” යනුවෙන් තෝල් තිරුමාවලන් පවසයි.

“සිංහලයන් වේවා, චීන ජාතිකයන් වේවා වන්දනාමාන කිරීමේ මුවාවෙන් පැමිණ දකුණු ඉන්දියාවේ ඔත්තු බැලීමේ යෙදුනොත් එය ඉන්දියාවේ ආරක්ෂාවටත් තර්ජනයක් වනු ඇතිය යන්න අප අමතක නොකළ යුතුය,” යි රාමදාස් මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

Ramadoss tweet

ඉන්දීයාවේත්, ලංකාවේ උතුරේත් විරෝධය නැගී ඒමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා ඇත්තේ කිසිදු මිනිස් වාසයකින් තොර දුපතේ රාජකාරි සිදුකරනු ලබන බහුතරයක් නාවිකයන් බෞද්ධාගමිකයන් වන හෙයින් “ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක්” තැන්පත් කර ඇති බවයි. කවර කලෙක පිළිම තැන්පත් කරන ලද්දේදැයි පැහැදිලි නැත.

“තවද, ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් මෙම කච්චතිව් දූපතේ නොමැති අතර, ඉදිරියේදීද කිසිදු සිද්ධස්ථානයක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු නොකරන බවටත් තරයේ අවධාරණය කරනු ලබයි,” යනුවෙන් නාවික හමුදාව නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

කෙසේවෙතත් දෙමළ මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති ඡායාරූපවලින් අඩුම වශයෙන් බෝගස් දෙකක් ඉන්දවා බුදු පිළිම දෙකක් ස්ථාපිත කර ඇති ආකාරය දැකගත හැකිය. “කුඩා පිළිමයක්” පමණක් ඇති බවට නාවික හමුදාව කරන ප්‍රකාශය ප්‍රදේශයේ ගිහි පැවිදි නායකයන් පිළිගන්නේ නැත.

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පරිපාලක සත්‍යසීලන් වසන්තන් පියතුමා පෙන්වා දෙන්නේ නාවික හමුදා භටයන් දහයකට අඩු ප්‍රමාණයක් කච්චතිව් දුපතේ රාජකාරියේ යෙදී සිටින අතර අලුතින් ස්ථාපිත කළ බුදු පිළිම පිටතට නොපෙනෙන ලෙස උස් තල් වැටක් මගින් ආවරණය කර ඇති බවයි.

300

100

"කච්චතිවි දුපතේ අළුතින් බුදු පිළිම දෙකක් තැන්පත් කරලා තියනවා. ඒවා සැලසුම් කරලා තමයි තියලා තියෙන්නේ. ඔවුන් එම ස්ථානයේ බෝ ගසුත් හිටවලා  තියනවා. ඔවුන් මේ ගැන කිසිවකුටත් නොදැනෙන ලෙස ඉතා උස් තල් වැටක් ඉදිකර කරලා තියනවා. නාවික සෙබළුන් හතත් දහයත් අතර ප්‍රමාණයක්  රාජකාරි සඳහා කච්චතිව් දුපතේ ස්ථානගත කරලා තියනවා. එයාලට වඳින්න ඕන නම් පොඩි පිළිමයක් තියාගන්න පුළුවන්. ප්‍රශ්නය පැන නගින්නේ මෙතරම් විශාල පිළිම ඇයි කියන එකයි. කච්චතිව් දුපතේ කොතැනකවත් බෝ ගස් නෑ. සැළසුම් සහගතව බෝ ගස් හිටවලා තියනවා."

කච්චතීවු ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වෙන සමයේ පෙර නොවූ විරූ ආකාරයෙන් මෙවර බෞද්ධ භික්ෂුන් හය දෙනකු පැමිණ තිබීම සම්බන්ධයෙන් මේ මාසයේ පළමු සතියේදී අප විසින් අනාවරණය කරණ ලදී.

 

කතෝලික බැතිමතුන්ට දූපතට ප්‍රවේශවීමට අවසර ලැබෙන එකම කාලසීමාව තුල බෞද්ධ භික්ෂුන් පැමිණියේ කවර කටයුත්තක් සඳහා දැයි නාවික හමුදාව අනාවරණය කර තිබුනේද නැත.

 

උතුරු නැගෙනහිර ප්‍රදේශ බෞද්ධකරණය කරමින් සිටින හමුදාව කච්චතිව් දුපත හෝ අත හැර නොමැති බවට චෝදනා කරන දෙමළ ජාතික සන්ධානයේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා නාවිකයන්ගේ වන්දනාවට බුදු පිළිම පිහිටුවා ඇතැයි නාවික හමුදාව නිදහසට කරුණු දක්වනු ඇතැයි පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී කියා තිබුණි.

"ඉන්දියාවේ  සහ ශ්‍රී ලංකාවේ  ජනතාව කච්චතිව්  දන්නේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර විදිහටයි. ධීවරයන් එහි  ගිහිල්ලා ආගමික කටයුතු සිදු කරනවා. නමුත් උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල බෞද්ධ මං සලකුණු වැඩිපුර සවිකරමින් සිටින හමුදාව විශේෂයෙන්ම නාවික හමුදාව විසින් කච්චතිවි දුපතේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කරලා තියනවා. එතනවත් ඉතුරු කරලා නෑ.බුදු පිළිම වහාම ඉවත් කළ යුතුයි. මේ ගැන රජයෙන් ඇහුවොත් රජය කියයි මේක නාවික හමුදාවේ වන්දනාවට තමයි හදලා තියෙන්නේ කියලා."

වසන්තන් පියතුමා වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගමික සහජීවනයට සාක්ෂියක් වන ශාන්ත අන්තෝනි දෙව් මැදුර පිහිටි දුපතෙන් බුදු පිළිම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

"දෙමළ ජනතාවගේ මව් බිමේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර බෞද්ධකරණය කරගෙන යනවා. යුද්ධය නිමා උනාට පස්සේ වාර්ගික සමගිය ගැන කතා කරනවානම් මේවැනි දේවල් නතර කළ යුතුයි. දුපත අයිති ශාන්ත අන්තෝනි දෙව් මැදුරට.බුදු පිළිම එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයි. කච්චතිව් දුපතේ වාර්ශික මංගල්‍යයට හින්දු ඇතුළු වෙනත් ආගමිකයනුත් එනවා. ඇවිල්ලා ගොඩක් දේවල් කරනවා.ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගමික සහජීවනයට සාක්ෂියක් තමයි ශාන්ත අන්තෝනි දෙව් මැදුර.දුපතේ අනන්‍යතාවය අපි රැක ගන්න ඔන.ඒ සදහා සියළු දෙනාම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි."

ඉන්දීය අගමැතිනිය වූ  ඉන්දිරා ගාන්ධි 1974 දී  කච්චතිව් දුපත ලංකා ආණ්ඩුවට සාමකාමිව පවරා දුන්නේ එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක සමග පැවති මිත්‍රත්වය හේතුවෙනි.

ඉන්දියාවට ඉතාමත් සමීපයෙන් පිහිටි කච්චතිව් කොදෙව්ව ඉන්දීය හා ලාංකික ධීවරයන්ට සිය මසුන් මැරීමේ කාර්යයේදී ඉතා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. දුපතේ පිහිටි ඉපැරණි ශාන්ත අන්තෝනි දෙව් මැදුර දෙරටේම ධීවරයන්ගේ පුද සත්කාර ලබමින් වාර්ෂිකව දේව මංගල්‍යයක්ද පවත්වයි.



සබැඳි පුවත් :
හමුදාව කච්චතිවූ දූපතෙත් බුදුපිළිම තියා බෝ පැල සිටුවති !

බෞද්ධ භික්ෂුන් කතෝලික දේව මංගල්‍යය දා කච්චතීවු ගියේ ඇයි?


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image