නව බදු ප්‍රතිසංස්කරණ යටතේ අය කෙරෙන උපයන විට ගෙවීමේ බද්දෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය මාස 03 ඇතුළත රුපියල් කෝටි 694 ඉක්මවන ආදායමක් එකතු වී ඇතත් එහි දත්ත පද්ධතියේ

රුපියල් කෝටි 36ක අඩුවක් පෙන්නුම් කරන්නේ යැයි දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ.

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයන්ගෙන් උපයන විට අය කෙරෙන බදු ලෙස පසුගිය ජනවාරි සිට මාර්තු 31 වන දා දක්වා මෙසේ රුපියල් කෝටි 694කට වැඩි ආදායමක් ලබා ඇති නමුත් ලේඛනවල සඳහන් සමස්ත එකතුව වන්නේ රුපියල් කෝටි 658.3ක් යැයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

උපයන විට බදු අය කිරීම මගින් ජනවාරි 31 වන විට රුපියල් කෝටි 77.1ක් ද, පෙබරවාරි 28 වන විට රුපියල් කෝටි 557ක් හා මාර්තු 31 වන විට රුපියල් කෝටි 60.7ක ආදායමක් වාර්තා කර ඇති අතර එහි එකතුව රුපියල් කෝටි 694 ඉක්මවයි.

මෙම එකතුව රජය උපයන විට බදු අය කර ගැනීම මගින් ඇස්තමේන්තු කරන ලද ආදායම සම්පූර්ණ කරන ලද නමුත් සමස්ත බදු මුදල් ගණනය කිරීමේදී රුපියල් කෝටි 36ක අඩුවීමක් පෙන්වීම ප්‍රශ්නකාරී යැයි ද එම ප්‍රකාශකයා කීය.

මෙසේ උපයනවිට ආදායම් බදු ගෙවා ඇති ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි යැයි එම ප්‍රකාශකයා කීය.



මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය ගේ ප්‍රකාශය පිළිගන්න අමාරුයි !



කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය එක්ලක්ෂ විසි දහසක පමණ ශ්‍රමික පිරිසක් උපයනවිට ගෙවීමේ බද්ද ගෙවන්නේ යැයි ද එය ශ්‍රම බළකායෙන් සියයට 2.6ක පිරිසක් යැයි ද මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.

මීට පෙර 2019 වසරේදී ලක්ෂයට වැඩි මාසික ආදායමක් උපයන්නන්ගෙන් උපයන විට බදු අය කර ගැනීමේදී ද එකොළොස් ලක්ෂය ඉක්ම වූ ශ්‍රමික පිරිසක් ඉන් ආවරණය වී යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ආර්ථික විද්‍යාඥයෙක් පැවසීය.

වාර්ෂික වැටුප් වැඩිවීම් ආදිය සමග මෙම ශ්‍රමික පිරිස මේ වනවිට ලක්ෂ 20කට ආසන්න විය යුතු යැයි කී හෙතෙම එසේ බැලුවහොත් වර්තමාන ශ්‍රම බළකායෙන් හතරෙන් පංගුවකට ආසන්න පිරිසක් නව බදු සංශෝධනයට හසුව උපයනවිට බදු ගෙවනු ඇතැයි අවධාරණය කළේ ය.

ඒ අනුව, මුදල් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන ඉලක්කම කිසිසේත් විශ්වාස කළ නොහැකි යැයි ද උපයනවිට බද්ද ගෙවන සැබෑ ශ්‍රම බළකාය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි ද එම ආර්ථික විද්‍යාඥයා පැවසීය.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වූ සැබෑ දත්ත ගැන දැන ගැනීමට මහජනතාවට මූලික අයිතියක් ඇතැයි ද බදු ගෙවන්නන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අනාවරණය නොකිරීම රාජ්‍ය මූල්‍ය වගකීම්වලින් නිල වශයෙන් මඟහැර යෑමක් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයන්ගේ ආදායම මත බදු අය කරන දේශීය ආදායම් (සංශෝධන) පනත කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ අස්සන යෙදීමෙන් බලාත්මක වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වන දා ය.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟතාවන්ට අනුකූලව මෙම බදු සංශෝධනය සිදු කෙරුණු බව රජය පවසයි.

(බිඟුන් මේනක ගමගේ -mawbima.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්