උතුරේ ධීවර ප්‍රජාවට බාධා ගෙන දෙන ආකාරයට ඉදිකර තිබෙන නාවික හමුදා කදවුරක් පුළුල් කිරීම සදහා ඉඩම් අත්පත්කරගන්නට දැරූ උත්සාහයක් පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.



පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනයේ, කයිට්ස් දූපතේ තම්බාටි ප්‍රදේශයේ ඉඩම් අත්පත්කරගැනීමේ උත්සාහයට එරෙහිව ප්‍රදේශවාසී ධීවර ජනයා අප්‍රේල් 04 වැනිදා විරෝධතා දියත් කර ඉඩම් මැනීමට පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආපසු හරවා යැවූ බවයි.

" නවත්තනු නවත්තනු ජනතා විරෝධී ක්‍රියා නවත්තනු, අපේ ඉඩම්  අපිට ඕනෑ, නවත්තනු නවත්තනු ඉඩම් මැනීම නවත්තනු, මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිටව යනු" ආදී සටන් පාඨ කියමින් ඔවුන් විරෝධතා දියත් කර තිබේ.

 

කයිට්ස්, ප්‍රදේශයේ මසුන් මැරීමේ නිරත වන ධීවරයන්ට සිය යාත්‍රා නතර කිරීම සදහා නාරන්තනෙයි උතුර ප්‍රදේශයේ සකස් කර තිබෙන තම්බාටි ජැටියට ප්‍රවේශවන මාර්ගය හරස් කරමින් නාවික හමුදාව තාවකාලික හමුදා කදවුරක් පිහිටුවීම නිසා ධිවර ප්‍රජාව මහත් හිරිහැරයට පත්ව සිටින බව පවසන ධිවරයන් චෝදනා කරන්නේ නාවික හමුදා කඳවුරට ස්ථිර වශයෙන් ඉඩම් පවරා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට  ක්‍රියාත්මක වන බවයි.

 

ධිවර ජැටියේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී නාවික කදවුරු බාධාවක් වන බැවින් එම භුමියේ නාවික හමුදාවට ස්ථිර ඉඩම් ලබා දිය නොහැකි බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තීරණයකට එළඹ ඇති නමුත් නාවික කදවුර පුළුල් කිරීම සදහා ඉඩම් අල්ලා ගැනීමේ උත්සාහයේ තවදුරටත් නිරතව සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

“ මේ නාවික කඳවුර ධීවරයන් මුහුදට යන මාර්ගය හරස්කරලා හදලා තියන නිසා ධීවරයන් විවිධ ගැටළුවලට මුහුණ දෙනවා. ධිවර ජැටිය සංවර්ධනය කරන්න යනකොට නාවික හමුදාවේ කදවුර ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දීලා එම ඉඩම නාවික හමුදාවට ස්ථිරව ලබාදිය නොහැකි බවට ඉඩම් කමිටුවේදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.” ග්‍රාම  සංවර්ධන සංගමයේ  සභාපති අන්නලිංගම් අන්නාරාසා සදහන් කරයි.

මෙම නාවික හමුදා කඳවුර විකල්ප ස්ථානයක පිහිටුවීම සදහා ඉඩම් ලබාදෙන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගිය සමයේ පොරොන්දු වූවද එය මෙතාක් ඉටුකර නොමැති බව ප්‍රදේශවාසීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

නාවික හමුදා කදවුරු පුළුල් කිරීම සදහා ඉඩම් ලබා දීමට විරෝධය පළ කරමින් ධිවරයන්ගේ අත්සන් යෙදු ලිපියක්ද විරෝධයට එක්ව සිටි ධිවරයන් විසින් මිනින්දෝරු නිලධාරීන්ට ලබා දුන් බව පවසන ඒ අන්නාරාසා අවධාරණය කරන්නේ  තම්බාටි ජැටිය ධිවර පවුල් 225 කට අයත් ධිවර යාත්‍රාවල තොටුපල බවයි.

mnh

kp3


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්