යුද්ධයෙන් පසු තමන්ගේ ඉඩම් අහිමි වූ දෙමළ ජනතාවට විසඳුම් ලබාදෙන බව කියන ජනාධිපති වරයාගේ කාර්යාලය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා  වන්නියේ දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් තුළ සිංහල ජනතාව පදිංචි කරවීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෝ චෝදනා කරති.

මුලතිව් කරුනාට්ටුකේනි ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් භුමි තුළ සිංහල ජනතාව පදිංචි කරවීමේ මෙහෙයුමක ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු පිළිබද  අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් නිරතව සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

අප්‍රේල් 3 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක් වන කරුනාට්ටුකේනි වෙත මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් ඉඩම් හදුනා ගැනීමේ උත්සාහයක නිරතව තිබුනි.

එම ස්ථානයට ප්‍රදේශවාසීන් සමග පැමිණ විරෝධතා දක්වු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසා තිබුනේ, කරුනාට්ටුකේනි පොලිස් ස්ථානය අවට පිහිටි දෙමළ ජනතාවට අයත් ඉඩම් තුළ සිංහල පවුල් 180 ක් පදිංචි කරවීමේ සැලැස්මක් ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි.

තුරෙයිරාසා රවිහරන් එහිදි වැඩි දුරටත් චෝදනා කර තිබුනේ ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන්ගේ මඟපෙන්වීම මත මහවලි සංවර්ධන අධිකාරිය මෙම සිංහල ජනාවාස ඇති කිරීමට උත්සාහ කරන බවයි.


ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් කෝකිලායි ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනතාව පදිංචි කරවීමට මුලිකත්වය ගෙන කටයුතු කරන බවට චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා ද අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුවේ ද පවසා තිබුනි.

“ජනාධිපතිතුමාගේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා කොකිලායි ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන සිංහල ජනතාවට නිවාස ඉදිකර දීමට මූලිකත්වය ගෙන තිබෙනවා. එය වාර්ගික මර්දනයක්" යැයි පැවසු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ  ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

ගෝමරංකඩවල වැසියන්ට ඉඩම් ලබා දීමට තමන්  සිදුකළ මැදිහත්වීමක් සම්බන්ධයෙන් කීර්ති තෙන්නකෝන් අප්‍රේල් 1 වැනිදා සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

" යුද්ධයෙන් අන්ත අසරණ කළ ගෝමරංකඩවල වැසියන්ට ඉඩම් නිදහස් කර දීම ආරම්භ කළෙමු. ජනතාවට ජීවත්වන්නට ආදායම් මාර්ගයක්, ගොවිතැනට ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලබාදීම සිදු වනු ඇත."

තවත් ඉඩම්  අක්කර 950 ක් නිදහස් කිරීමට හදුනාගත් බව ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

cfhr57

උතුරු  පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන්නේ මුලතිව් කරුනාට්ටුකේනි ප්‍රදේශයේ දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වු බවයි.1973 සහ 1979 වසරවල ඉඩම් වල අයිතිය පවරා  දෙමළ ජනතාවට ලබාදුන් ඉඩම් බලපත්‍ර  තවමත් ඔවුන් අත පවතින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

1984 වසරේදි ඉඩම් වලින් ඉවත් කළ දෙමළ ජනයා යුද්ධය නිමා වීමෙන් පසුව  තම මුල් ගම් බිම් වල යළි පදිංචි වුවද වැසි ජලයෙන් සිය කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන විට මහවැලි අධිකාරිය වන සංරක්ෂණ හා  වනජීවි දෙපාර්තමේන්තු වැනි රජයේ ආයතන ඔවුන්ට බාධා පමුණුවා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි මාර්තු 18 වැනිදා රාත්‍රි  කාලයේදී ද මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි, කොක්කුතොඩුවායි සහ කරුනාට්ටුකේනි යන ග්‍රාම සේවා වසම් තුනට අයත් වන්නිවාසී දෙමළ පවුල් 200කට ආසන්න පිරිසකගේ කෘෂිකාර්මික කටයුතු සඳහා තිබු  ඉඩම් අක්කර 2000 කට ආසන්න භුමියක් මැන වෙන් කිරීම සදහා මෙතෙක් හඳුනා නොගත් පිරිසක් මායිම් ගල් යොදා තිබේ.

තර්ජනයට ලක්ව තිබෙන මෙම භුමි පිහිටා ඇත්තේ දෙමළ ජනතාව සිය පාරම්පරික වාසභූමිය ලෙස උරුමකම් කියන උතුරු නැගෙනහිර යාවෙන ප්‍රදේශය ඇතුළු කොටගෙන අසුව දශකයේ සිට පිහිටුවන ලද සිංහල ජනාවාසවලට යාබදවය.


ජන සංහාරයක්

ගම් වැසියන් පවසන පරිදි  1984 දෙසැම්බර් 02 දින නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැදවා වෙඩි තබා ඝාතනය කළ රජයේ යුද හමුදාව සිය ගම්බිම් අතහැර යන්නට දෙමළ ජනයාට බල කර තිබේ.

ඒ, එම ගම්මාන වල එල්.ටී.ටී. ඊ සාමාජිකයන් සැඟව සිටින බවට ජනතාව බිය ගන්වමිනි.

ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.

කෝකිලායි, තෙන්නමරවාඩි, අමරවයල්, කොක්කුතුඩුවායි, අලම්පිල්, නයාරු, කුමුලමුනෙයි සහ මනලාරු ප්‍රහාරයට ලක්වූ අනික් දෙමළ ගම්මානයි.

මේ ජනඝාතන වල අරමුණ වූයේ සිංහල ජනාවාසකරණය බව එවක පාර්ලිමේන්තුවේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මෙම  සමූහ ඝාතන සමයේ ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දුන්නේ පසුව මේජර් ජනරාල් පදවි ලද බ්‍රිගේඩියර් ජානක පෙරේරාය. ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනාවාසයක නම ජානකපුරයි.

ආරක්ෂක අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තු  උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට  දිගින් දිගටම චෝදනාවට ලක්ව සිටී.

උතුරු සහ නැගෙනහිර දෙපළාතේ  දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලය සහ සංස්කෘතික විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡා කර විසඳුමක් ලබාදිය යුතු බව චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් කැඳවා පවත්වන ලද සමුළුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුත්තක් බවයි.

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්