මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති ජනාධිපතිවරණයක් වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබේ.



නිල වශයෙන් නම් ඉදිරි ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 ඔක්තෝබර් මාසයේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගෙන ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ජනාධිපතිවරයකු පත්වී වසර 4ක් ඇවෑමෙන් ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අභිලාෂය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත. එහෙත් වත්මන් ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන බැවින් ඔහුට ඒ සඳහා නීතිමය වරමක් නැතැයි 'දේශය' පුවත්පත මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අගවිනිසුරුවරයෙක් වන සරත් එන්. සිල්වා පවසා තිබේ.

දැනට නිල නොවන මට්ටමින් ලැබෙන ආරංචි අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ජනාධිපති වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර දිසානායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර නම්ය. මේ හැර පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

මේ සියලු දෙනාට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිත්වය දරන ජනක රත්නායක ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ආගමික නායකයන් පිරිසක් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.


''නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා වික්‍රමසිංහ'' - රවී K


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසන්නේ, ලබන වසරේ (2024) දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්වන බවයි.

ජාතික එකඟතා ආණ්ඩුවක් ස්ථාපිත කිරීම ජනාධිපති වික්‍රමසිංහගේ අපේක්ෂාව වී ඇතැයි ද රවී කරුණානායක කියා සිටියි.

රවී කරුණානායක එබව කියා සිටියේ, පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මුලස්ථානයේ (JSS) ඊයේ (08) පෙරවරුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.


''ජනාධිපතිවරණය ගැන කතාව විහිළුවක්'' - සුනිල් හඳුන්නෙත්ති


ඉදිරි මැතිවරණ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පැවසුයේ, පළාත් පාලන මැතිවරණය කැඳවා ඇති මොහොතක ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කිරීම විහිළුවක් බවයි. මැතිවරණය කැඳවා ඇති මොහොතක එය නොපවත්වා තවත් මැතිවරණයක් ගැන කතා කරන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නගින බවත් ඔහු සඳහන් කළේය.

දැනට තම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් නැති බවත් ඉන්නේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.


(උපුටා ගැනීම් - deshaya.lk)


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්