බීබීසීය සමග සිදුකළ දුලබ හා පුළුල් පරාසයක සම්මුඛ සාකච්ඡාවක දී ඊලොන් මස්ක් ඔහු ට්විටර් සමාගම මෙහෙයවන ආකාරය වෙනුවෙන් පෙනී සිටියේ ය.



එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි ට්විටර් මූලස්ථානයේ දී, බීබීසීයේ තාක්ෂණ වාර්තාකරු ජේම්ස් ක්ලේටන් ලොව දෙවැනියට ධනවත්ම මිනිසා වන මස්ක් පැයක පමණ දිගු වේලාවක් ප්‍රශ්න කළේ ය.

මේ, අප ඉන් උගත් කරුණු හයකි.


1. ට්විටර් තුළ වෛරී ප්‍රකාශ පළවීම ඉහළගොස් ඇතිබව ඔහු ප්‍රතික්ෂේප කරයි


සමාගම ඔහු යටතට ගත් දා පටන් ට්විටර්හි පළවන වෛරී ප්‍රකාශයන් ප්‍රමාණය වැඩිවී ඇතැ යි යන්න පිළිගැනීම මස්ක් ප්‍රතික්ෂේප කළේ ය.

news 30

මස්ක්ගේ හිමිකාරීත්වයෙන් පසු පැමිණි වෙනස්කම් සහ බොහෝ සේවකයින් සේවයෙන් පහකර දැමීමෙන් පසු අන්තර්ජාලය හරහා හිංසාකාරී ලෙස සැලකීම්, රජය විසින් සමායෝජිත දුස්තොරතුරු, සහ ළමා ලිංගික අපචාරවලින් තවදුරටත් සිය පරිශීලකයින් ආරක්ෂාකර ගැනීමට සමාගමට හැකියාවක් නොමැතිබව, මෙවසර මුල දී බීබීසී හා කතාබහ කළ ඇතැම් ට්විටර් සේවකයින් පැවසීය.

මාර්තුවේ දී, "ට්විටර් වඩාත් ආරක්ෂාකාරී තැනක්බවට පත්කිරීම" සඳහා සිය සමාගම එම මස තුළ දී පමණක් ගිණුම් 400 000ක් ඉවත්කළ බව සමාගම ප්‍රකාශ කළේ ය.

මස්ක්ගේ ප්‍රකාශයන් පූර්ණ වශයෙන් ඇගයීම සඳහා, දැනට අප සතුව නොමැති කරුණු දෙකකි- ඒ, මස්ක් ට්විටර් මිලට ගැනීමට පෙර සහ පසු සමයේ ට්විටර්හි දත්තවලට ප්‍රවේශය සහ, වඩාත් තීරණාත්මක කරුණ වන, ඔහු දුස්තොරතුරු සහ වෛරී ප්‍රකාශ අර්ථ දක්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධය යි.

ඇමෙරිකානු නීතිය යටතේ 'වෛරී ප්‍රකාශ' සඳහා පොදු නිර්වචනයක් නැත. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය හේතුවෙන්, අදහස් ප්‍රකාශනය පිළිබඳ එරට නීතිය සාමාන්‍යයෙන් අන් රටවලට සාපේක්ෂව වඩාත් ලිහිල්වෙයි.


2. ඔහු ජෝ බයිඩන්ට ඡන්දය ප්‍රකාශ කළේ ය


අවසන් එක්සත් ජනපද මැතිවරණයේ දී රටින් බාගයකට ආසන්න ප්‍රමාණයක් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළබව මස්ක් පැවසීය. නමුත් ඔහු මෙසේ ද සඳහන් කළේ ය: "මං එයින් එක්කෙනෙක් නෙවෙයි. මං ඡන්දෙ දුන්නේ බයිඩන්ට."

සම්මුඛ සාකච්ඡාවේ තවත් කොටසක දී, ඔහු ට්‍රම්ප්ට එරෙහි ට්විටර් තහනම ඉවත්කිරීම සාධාරණීකරණය කළේ ය. 2021 දී ට්‍රම්ප්ගේ ට්විටර් පරිශීලක අයිතීන් අත්හිටවනු ලැබුණේ, ඔහු ප්‍රචණ්ඩත්වය අවුළුවන බවට සමාගම විසින් චෝදනා එල්ල කරමිනි.


3. දුස්තොරතුරුවලට එරෙහි යුද්ධයේ දී ට්විටරය බොට් ගිණුම් පරදවනබව ඔහු කියයි


ඔහු ට්විටර් මිලට ගැනීමෙන් පසු, බොට් ගිණුම් (එනම්, ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන, සැබෑ පරිශීලකයින් පාලනය නොකරන ගිණුම්) මකා දැමීමට ගත් ප්‍රයත්නය නිසාවෙන් ට්විටර් තුළ දුස්තොරතුරු පැතිරීම අඩුවී ඇතැ යි මස්ක් ප්‍රකාශ කළේ ය.

"මගෙ අත්දැකීම තමයි, දුස්තොරතුරු වැඩිවෙනවාට වඩා අඩුවෙලා ගිහින් තියෙනවා," ඔහු අපගේ වාර්තාකරු හා පැවසීය.

නමුත් බාහිර ප්‍රවීණයින් ඇතැමෙක් ඒ හා එකඟ නොවේ. අන්තර්ජාලය තුළ දුස්තොරතුරු නිරීක්ෂණය කරන නිව්ස්ගාඩ්හි අධ්‍යයනයක් මඟින් (වෙනත් සමාගම් විසින් සිදුකෙරෙන මෙවැනි තවත් අධ්‍යයනයන් තිබේ) සොයාගැනුනේ, මස්ක් ට්විටර් හිමිකාරීත්වය ලබාගැනීමෙන් පසු, දුස්තොරතුරු බෙදාහරින ප්‍රසිද්ධ ගිණුම්හි ක්‍රියාකාරීත්වය හා ඒ ගිණුම් සමග අනෙකුත් පරිශීලකයින් පවත්වන සම්බන්ධය ඉහළගොස් ඇතිබව යි.

සමීක්ෂණයට අනුව, ඔහු ට්විටර් අත්පත්කර ගැනීමෙන් පසු එළැඹි සතිය තුළ දී, වඩාත් ජනප්‍රිය, අවිශ්වසනීය ගිණුම්වලට ලයික්ස් සහ රීට්වීට්ස් ආකාරයෙන් ලැබුණු ක්‍රියාකාරීත්වය 60%කින් පමණ ඉහළගොස් ඇත.

මස්ක් ට්විටර් සමාගම පවරා ගැනීමෙන් පසු, පෙර තහනම්කර තිබූ ගිණුම් 1000කට නැවතත් ට්විටර් පරිශීලනය කිරීමේ අවසරය ලබාදී ඇතැයි බීබීසීය විසින් ස්වාධීනව විශ්ලේෂණය කෙරුණු අතර, යළි ස්ථාපනයෙන් පසු එයින් තුනෙන් එකකට වැඩි ගිණුම් ප්‍රමාණයක් අපචාරාත්මක හැසිරීම් දක්වා හෝ දුස්තොරතුරු බෙදාහැර ඇතැ යි අනාවරණය විය.

මේ දුස්තොරතුරු අතරට අසත්‍ය එන්නත්-විරෝධී ප්‍රකාශයන්, නාරිද්වේශය, LGBT-විරෝධී අදහස්, සහ 2020 එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලවල වලංගුබව ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයන් අයත් ය.


4. මස්ක්, ටික්ටොක් තහනම් කිරීමට විරුද්ධ ය


එක්සත් ජනපදය තුළ වැඩිම වරක් බාගතකර ඇති මෙම ඇප් එක තමා විසින් භාවිතා නොකළත්, එය තහනම් කිරීම සඳහා ගන්නා කිසිදු පියවරකට තමා විරුද්ධබව මස්ක් ප්‍රකාශ කරයි.

ටික්ටොක්හි චීන හිමිකාරීත්වය නිසා ඇතිව තිබෙන ආරක්ෂාව පිළිබඳ කණස්සල්ල හේතුවෙන් එක්සත් ජනපදය ඇප් එක තහනම් කිරීම සළකා බලමින් සිටියි. තවත් ඇතැම් රටවල් එය රජයේ සේවකයින්ගේ දුරකථනවලට යෙදීම තහනම්කර තිබේ.

"මම සාමාන්‍යයෙන් තහනම් කිරීම්වලට විරුද්ධ යි," යනුවෙන් මස්ක් පැවසුවත්, එවැනි තහනමක් පනවනු ලැබුවොත් ජනයා වඩාත් වැඩි කාලයක් ට්විටර්හි ගත කරනු ඇති හෙයින් එවැන්නක් තමාට වාසිදායක වනු ඇතැ යි ද ඔහු පැවසීය.


5. ඔහු ට්විටර් වෙනුවෙන් ඩොලර් බිලියන 44ක් පිළිගන්නේ නැත


යමෙකු තමා ට්විටර් හිමිකරගත් මුදලටම එය තමාගෙන් මිලට ගැනීමට ඉදිරිපත්වුවහොත් තමා එය ප්‍රතික්ෂේප කරනබව මස්ක් පවසයි. නමුත්, මස්ක් ට්විටර් ගිවිසුමෙන් ඉවත්වීමට දැඩි ප්‍රයත්නයක් දැරූ හැටි ඔබට මතක ද?

මස්ක් ට්විටර් මිලට ගන්නා විට එම සමාගමට ඉතිරිව තිබුණේ මාස කීපයක් පමණක්බවත්, ඒ වන විට එය ලාභ නොලබන ආයතනයක් මෙන් පාලනය කෙරෙමින් තිබූබවත් ඔහු පවසයි.

ට්විටර්හි පිරිවැය, එය උත්පාදනය කළ ආදායම ඉක්මවාගොස් තිබුණි. මස්ක් සමාගම භාරගැනීමට පෙර ප්‍රකාශයට පත් කෙරුණු අවසාන මුළු වාර්ෂික ප්‍රතිඵලයන්ට අනුව, 2021 දී මුළු වෙළඳ ආදායම ඩොලර් බිලියන පහක්වූ නමුත් පිරිවැය සහ වියදම් ඩොලර් බිලියන 5.5ක් දක්වා ළඟාවී තිබුණි. ඇත්ත වශයෙන්ම, 2012න් පසු එය ලාභ ලබා තිබුණේ දෙවසරක් පමණි.

දැන් ට්විටර්හි ආදායම් වියදම්වලට සමවීමට ආසන්නබව මස්ක් පවසයි. පුදුමයක් නැත - සේවකයින් 6 500ක් සේවයෙන් පහකර දැමීම යමෙකුගේ වියදම් සැහැල්ලු කරයි.

නමුත් ඔහු "බ්ලූ ටික්" සත්‍යාපනය සඳහා ට්විටර් පරිශීලකයින්ගෙන් මුදල් අය කිරීම වැනි දේ හරහා වෙළඳ ආදායම ඉහළ නැංවීමේ උපක්‍රම සෙවීම සඳහා ද ක්‍රියාශීලීව කටයුතු කළේ ය.

ඉතින් ඔව්, උග්‍ර වියදම් කප්පාදුව නිසා ට්විටරය දැන් ලාභ ලබන්නට ආසන්නව සිටිනවා විය හැකි ය.

නමුත් ප්‍රශ්නය වන්නේ, ලාභ ලැබීම කරා යන මාවත දිගේ දිගටම ගමන් කිරීමට සහ සමාගම එහි ඩොලර් බිලියන 44ක මිල ටැගයට සරිලන ආයතනයක්බවට පත්කිරීමට එයට හැකි ද යන්න යි.


6. බීබීසීය හඳුන්වන ආකාරය සම්බන්ධයෙන් ඔහු සිය ස්ථාවරය වෙනස්කරයි


පසුගිය සතියේ සිදුවූ ආරවුලෙන් පසු, ඔහු බීබීසීහි ට්විටර් ලේබලය "රජයෙන් අරමුදල් ලබන" (government funded) යන්නෙහි සිට "මහජන අරමුදල් ලබන" (publicly funded) දක්වා වෙනස්කරනු ඇතිබවට ඔහු තහවුරු කළේ ය.

බීබීසීය මුල් ලේබලයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, සංස්ථාවේ ස්වාධීනත්වය අවධාරණය කළේ ය. බීබීසීයට ප්‍රධානකොටම අරමුදල් සැපයෙන්නේ, රූපවාහිනී බලපත්‍ර ගාස්තුවක් හරහා බ්‍රිතාන්‍ය මහජනතාවගෙනි.

බදාදා පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී මස්ක් මෙසේ පැවසීය: "බීබීසීය ඔවුන්ව හඳුන්වාගන්න පාවිච්චි කරන වචනම අපිත් පාවිච්චි කළොත්, ඒක මම හිතන්නේ ප්‍රශ්නයක් නොවේවි."

මෙම බලපත්‍ර ආදායම 2022 වසරේ බීබීසීහි පූර්ණ ආදායම වූ පවුම් බිලියන 5.3න් 71%කට වගකීවේ ය. ඉතිරිය එහි වාණිජ කටයුතුවලින් සහ ප්‍රදානයන්, ප්‍රකාශන හිමිකම්හි ආදායම් සහ කුලියට දීමේ ආදායම් වැනි අනෙකුත් ක්‍රියාකාරකම්වලින් පැමිණෙයි.

එසේම, මූලික වශයෙන් එක්සත් රාජධානියෙන් පිටත ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සේවා සපයන බීබීසී ලෝක සේවය සඳහා වසරකට පවුම් මිලියන 90කට වැඩි මුදලක් එක්සත් රාජධානි රජයෙන් බීබීසීය වෙත ලැබෙයි.


(වාර්තාකරණය රියැලිටි චෙක් කණ්ඩායම, බීබීසී මොනිටරින් කණ්ඩායම සහ ව්‍යාපාර වාර්තාකරු ඩියර්බේල් ජෝර්ඩන් විසිනි)

(BBC සිංහල සේවය)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්