මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ට සමගි ජනබලවේගය පක්ෂයෙන් දැනුම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.



සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා ඇත්තේ, රාජිත සේනාරත්න ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා සියල්ල රාජිත සේනාරත්න විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදෙන්නේනම් තමන් එය භාර ගැනීමට සූදානම් බවට රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇතැයි ද පැවසේ.

එම කමිටුවේ සාමාජිකයින් පිරිසක් හා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසුගියදා සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නුගේගොඩ පිහිටි නිවසේ රැස්වී  සුහඳ සාකච්ජාවක් සිදුකර තිබුණි. එම සුහඳ හමුවට තිස්ස අත්තනායක, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ද එක්ව තිබිණ.

තමන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට සහාය පළකරන බවට කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බවත් මාධ්‍ය මගින් එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

කෙසේවුවද මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, තාම සිය ෆේස්බුක් පිටුවේ සියලු දෙනාගේ දැනගැනීම පිණිස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතිබව සඳහන් කර ඇතැයි වාර්තාවේ.


රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහන පහත පළවේ.


ලැජ්ජයි !!


මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස, සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට කිසිවිටෙක මම එරෙහිවී නැත..

මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.

එහෙත්  තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්, පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.

ඊයේ දිනයේ, රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්, ඔහුගේ නිවසේදී මම ඔහු හමුවුනෙමි.

ඒ අවස්ථාවට, කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර එය සුහද සාකච්ඡාවක් මිස විනය කමිටුවක් ලෙස දැකීම, ඇතැමුන් දුටු සිහිනයක් විය යුතුය.

ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේ ද?

 

ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මට ද? (මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ;  මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත) ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර, වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්, එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස, මගේ ප්‍රශ්නයක් නොවේ..

 

එම නිසා, "එවැනි ප්‍රකාශ යලි නොකරන බව"ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..

රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී, "යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර අවශ්‍ය අයෙකුට එම පිරිසෙන් කෙනෙකු අමතා
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..

ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත.. එසේ තිබුණා නම්, මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..

එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්, භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්, දෙපිල බෙදීසිටීම, එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම රටට ද සිදුකරන අසාධාරණයක් බව  මගේ පළමු හැඟීමයි.

කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්, මගේ ස්ථාවරය එයයි..


2014දී, විධායක මහින්දට අභියෝග කර, ඇමතිකම් අතහැර පැමිණි මට...
"2015දී පොදු අපේක්ෂකයා වන්න"යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට...
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.


88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව කිවයුතුය..

(වෛද්‍ය රාජිත සේනාරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී



සබැඳි පුවත් :
ජාතික ආණ්ඩුවක් හදන්න සජබ පෙරමුණ ගත යුතුයි ! - රාජිතගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ව අගමැති කරන්න ජනපතිට පණිවිඩ ගෙනිච්චේ නැහැ - මනෝ ගනේෂන්


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්