පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව

ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.



විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා, පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය.  එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේය.  



අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කළේය.

අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරින.

උසස් පෙළ සහිත පාසල් වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේය.

වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී සිටියේය.

එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපති වික්‍රමසිංහ, එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන  මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබිය.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ආරම්භ කර ඇති නැගෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ඇමති සීතා අරඹේපොල ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අනු කමිටුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

(nethnews.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්