උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකරන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (19) පැවති රැස්වීමකදී කළ ප්‍රකාශය මෙරට ප්‍රකට ගුරු සංගමයක බලවත් විරෝධයට හේතුවී තිබේ.  



අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීම පසෙක තබා කිසිදු ජන බලයක් නොමැතිව බලයට පත්ව සිටින ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය තරයේ හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධන ජෝසප් ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස දෙකක පමණ කාලක් ගත වී තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව විසින් සාධනීය පිළියමක් ලබා නොදෙන ලදී.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ උත්තපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නොදැමීම මත ගුරුවරු ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ඉල්ලුම් නොකිරීම හා විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටීම මත මේ වන විටත් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

 

පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කොට අනුමැතිය ලබා ගත්තද ජනාධිපතිවරයා යටතේ පවතින මහා භාණ්ඩාගාරය විසින් එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නොකර, මාස දෙකක පමණ කාලයක් ගත වූ පසු උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ජනාධිපතිවරයෙක් ඒ වෙනුවෙන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ සිදු කිරීමට බරපතල කනගාටුදායක තත්වයකි.

 

එසේම උසස් පෙළ විභාගයේ ගුණාත්මක භාවය රදවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු පාලක පරීක්ෂවරු ලෙස සිටීම අවශ්‍යව තිබියදී ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳා පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවට ඔවුන් නොමැතිව පිළිතුරු පත් ඇගයීම සිදු කරන්නේ නම් එය බරපතල ගැටලුවකි.

පෙළ පොත් ලබාදීම සම්පූර්ණ නොකිරීම, නිළ ඇඳුම් රෙදි සම්පූර්ණයෙන් ලබා නොදීම, 30000 කට ආසන්න ගුරු හිඟයක් අධ්‍යාපන පද්ධතියට තුළ පැවතීම, පාසල්වල ගුණාත්මක යෙදවුම් ඇතුළු කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදීම ආදී අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කර නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සිදු කරන්නේ නම් එම තත්වයට එරෙහිව මෙරට ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය පළ කිරීමට කටයුතු යොදන බව ද ප්‍රකාශ කර සිටිමු.

මේ තත්වය තුළ ආණ්ඩුව විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමත්, පිළිතුරු පත් පරීක්ෂා කරන ගුරුවරුන්ගේ දීමනා ප්‍රමාණවත් ලෙස ලබාදීමත් මගින් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.


''පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ'' - ජනාධිපති

image 13ac0f6026

ලබන සතිය වන විට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර වගකීම් පැහැර හරින ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපති වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (19) දැඩි ලෙස අවධාරණය කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගි නොවුණහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරින්ට දැනුම් දුන්නේය.

 

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අය-වැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

 

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අය-වැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.


අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතුරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනකු හෝ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටද එම අවස්ථාව ලබාදීමටත් තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.

උසස් පෙළ සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේය.

වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
 
 
පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති වික්‍රමසිංහ, එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
 
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ආරම්භ කර ඇති නැඟෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අනුකමිටුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන  අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්