අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින් හෙලා දැක තිබේ.


අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස දෙකක පමණ කාලක් ගත වී තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව විසින් සාධනීය පිළියමක් ලබා දී නොමැති බව පවසන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ, අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීම පසෙක තබා කිසිදු ජන බලයක් නොමැතිව බලයට පත්ව සිටින ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

 උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේයැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.


" විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය."

එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ උත්තපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නොදැමීම මත ගුරුවරු ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ඉල්ලුම් නොකිරීම හා විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටීම මත මේ වන විටත් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.


පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කොට අනුමැතිය ලබා ගත්තද ජනාධිපතිවරයා යටතේ පවතින මහා භාණ්ඩාගාරය විසින් එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නොකර, මාස දෙකක පමණ කාලයක් ගත වූ පසු උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ජනාධිපතිවරයෙක් ඒ වෙනුවෙන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ සිදු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බව ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පවසයි.

එසේම උසස් පෙළ විභාගයේ ගුණාත්මක භාවය රදවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු පාලක පරීක්ෂවරු ලෙස සිටීම අවශ්‍යව තිබියදී ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳා පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවට ඔවුන් නොමැතිව පිළිතුරු පත් ඇගයීම සිදු කරන්නේ නම් එය බරපතල ගැටලුවක් බව ලංකා ගුරු සංගමය අප්‍රේල් 20 වැනිදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සිදු කළහොත් එයට එරෙහිව ගුරු  විදුහල්පතිවරුන් පෙළ ගස්වන බවටත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා අනතුරු අගවා සිටි.

 " පෙළ පොත් ලබාදීම සම්පූර්ණ නොකිරීම, නිළ ඇඳුම් රෙදි සම්පූර්ණයෙන් ලබා නොදීම, 30000 කට ආසන්න ගුරු හිඟයක් අධ්‍යාපන පද්ධතියට තුළ පැවතීම, පාසල්වල ගුණාත්මක යෙදවුම් ඇතුළු කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදීම ආදී අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කර නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සිදු කරන්නේ නම් එම තත්වයට එරෙහිව මෙරට ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය පළ කිරීමට කටයුතු යොදන බව ද ප්‍රකාශ කර සිටිමු."


ආණ්ඩුව විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමත්, පිළිතුරු පත් පරීක්ෂා කරන ගුරුවරුන්ගේ දීමනා ප්‍රමාණවත් ලෙස ලබාදීමත් මගින් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමයේ අදහසයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්