පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන්

ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 24 වැනිදා) අතුරු නියෝග නිකුත් කළේය.

ලිවේරා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටි පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට මැයි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය අද නොතීසි ද නිකුත් කළේය.

පෙත්සම්කාර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2021 වසරේ මැයි මස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඉකුත් 19 වැනිදා තම කාර්යංශය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් දැනුම් දී තිබූ බව අනාවරණය කර සිටියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් පිටු හයක ලිපියක් ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙත යොමු කළ සිය සේවා දායකයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසියට බලයක් නොමැති බව පෙන්වා දී තිබුණේ යැයි ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

2021 වසරේ මැයි මස සිය සේවාදායකයා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස ඔහු වෙත පොලිසිය මගින් එවා තිබූ ලිපියේ සඳහන් කර තිබුණේ යැයිද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබීය.

ඉන් අනතුරුව අද (අප්‍රේල් 24 වැනිදා) ප්‍රකාශයක් දීම සඳහා පෙනී සිටින ලෙසත් එසේ පෙනී නොසිටියහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පොලිසිය විසින් සඳහන් කර තිබුණේ යැයි ජනාධිපති නීතිඥවරයා පැවසීය.



පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට මැයි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරයි.


තම සේවා දායකයා අදාළ ප්‍රකාශය සිදුකළේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, නීතිඥවරයෙකු හෝ නීතිපතිවරයෙකු පළ කරන මතයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බව අවධාරණය කළේය.



නීතිපතිවරයා වශයෙන් සිය සේවා දායකයා පළකළ එම මතයට මුක්තියක් හිමිවන බවත් එය කිසිදු අවස්ථාවක ප්‍රශ්න කළ නොහැකි බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තමන්ට ලැබුණු තොරතුරු හෙළිදරව් කිරීමට නීතිපතිවරයා වශයෙන් සිය සේවාදායකයාට හැකියාවක් නොමැති බවත් එය නීතිපතිවරයාට හිමි වරප්‍රසාදයක් බවයි කියා සිටියේය.



පොලිසිය වංකසහගත අරමුණින් කටයුතු කරන බවට චෝදනා...

එසේ තිබියදී 2021 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වසර දෙකකට පසුව හදිසියේ තම සේවා දායකයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට මතක් වීම ගැටළු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එය පොලිසිය විසින් වංකසහගත අරමුණකින් කටයුතු කරමින් සිදු කරන ක්‍රියාවක් බවත් චෝදනා කරනු ලැබීය.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරියක අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇය කියා සිටියේ මෙම පෙත්සමට අදාළ ව නිසි උපදෙස් කිසිවක් තමන් වෙත ලැබි නොමැති බවයි.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.


(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්