ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය

ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත් විය.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙසින් ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තා පොතට එක්වෙද්දී, එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව (තරග 11 කදී කඩුලු 50) හිමිකරගෙන සිටි රමේෂ් මෙන්ඩිස් සිව්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. ඒ දෙදෙනාටම වඩා සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු (30/3) ගාල්ල ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය ඉනිමකින් සහ ලකුණු 10 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පාර කපා දුන්නේය.

එය ශ්‍රී ලංකාවේ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය ද විය. 1982 සිට ටෙස්ට් තරග 311 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබිණ. පරාජය වූ තරග සංඛ්‍යාව 119 කි.

මුල් ඉනිමේදී ලකුණු 492 ක් ලබාගත් නමුත් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 212 ක ඉලක්කයක් කරා ගිය අයර්ලන්ත පිතිකරුවෝ ලකුණු 202 කට දැවී ගියහ. තරගයේ අවසන් දිනය වූ අද තේ පානය ආසන්න වෙද්දී අයර්ලන්තය කඩුලු 8 කට ලකුණු 202 ක් ලබා සිටි නමුත් පිට පිටම යැවූ යෝකර් පන්දු දෙකකින් හැරී ටෙක්ටර් (85) සහ බෙන් වයිට් (0) පිටියෙන් ඉවත් කළ අසිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක ජයක් ගෙන දුන්නේය.

අයර්ලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ හැරී ටෙක්ටර් පසුපෙළ පිතිකරුවන් මුවා කරගනිමින්, ඉනිම කාඩාවැටීමට නොදී සවිමත් මුක්කුවක් ගසාගෙන සිටියේය.

ටෙක්ටර්, අංක 10 පිතිකරුවා වූ කෝඩුකාර මැතිව් හම්ප්‍රේස් සමගින් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 41 කි. එහෙත් අසිතගේ යෝකර් පන්දු දෙකකින් සියල්ල එකතැන ආපිට කැරකී ගියේය.

අවසන් දිනයේ දඟ පන්දු යවන්නන්ටම වාසිදායක යයි ලෝපුරා කීර්තියට පත් ගාල්ල ක්‍රීඩාංගණයේදී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු, ඊයේ පෙරවරුවේදීම අයර්ලන්ත දෙවැනි ඉනිම දෙදරවාලීය. තරගයේ අවසන් දිනය වන ඊයේ  (28 වැනිදා) පෙරවරුවේ තරගය ආරම්භ වීමත් සමගින් පන්දුව අතට ගත් අසිත ප්‍රනාන්දු, විනාඩි 75 ක කාලයක් පුරා එක දිගට පන්දු යවමින් ලකුණු 14 කට කඩුල්ලක් දවාගත්තේය.

අසිතගේ පන්දු යැවීමේ වාරය සටහන් වූයේ 7-2-14-1 ක් ලෙසිනි. එහෙත් එහි බලපෑම තිබුණේ ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාවේ හෝ යැවූ ඕවර සංඛ්‍යාවේ නොව, අයර්ලන්ත පිතිකරුවන් සසළ කරමින් පන්දු යැවූ අකාරයේය.

ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව ප්‍රසිද්ධියක් උසුලන්නේ ටෙස්ට් තරගයක පස්වැනි දිනය වන විට වඩාත් මන්දගාමී, අතිශයින් දඟ කැවෙන සුළු තණතීරුවක් ලෙසිනි. එවන් තණතීරුවකදී පිතිකරුවන් අන්ද මන්ද කළ වේග පන්දු යැවීමක නිරත වූ අසිත, අද උදෑසන තරගය ආරම්භ වී විනාඩි 12 ක් ඇතුළත අයර්ලන්ත නායකයා ආපසු ක්‍රීඩාගාරයට යැවීය. ඒ ඔහුගේ කඩුල්ල දවාගැනීමෙන් නොව, දිගින් දිගටම කළ ආක්‍රමණශීලී පන්දු යැවීමකිනි.

අසිතගේ පන්දුවක් සිය මුහුණු ආවරණයේ වැදීම නිසා බැල්බර්නි ක්‍රීඩාගාරයට යාමෙන් පසුව පැමිණි පෝල් ස්ටර්ලිංගේ ඉනිම විනාඩි 5 කට සීමා විය. කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීමකින් ස්ටර්ලිං දැවී යාමත් සමගින් ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තා පොතේ සිය නම සටහන් කරගත්තේය.

ප්‍රභාත් ජයසූරිය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තා පොතට ඇතුළත් විය. වමතින් දඟ පන්දු යවන්නා 50 වැනි කඩුල්ල දවාගත්තේ සිය හත්වැනි තරගයේදීය. අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් 50 වැනි කඩුල්ල ලබාගත් පන්දු යවන්නන් අතරේ ලොව දෙවැනි ස්ථානය හිමිවන්නේද ප්‍රභාත් ජයසූරියටයි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 ක් දවාගත් අතර ටෙස්ට් තරග 6 කදී කඩුලු 50 ක් දවාගත් ඕස්ටේ්‍රලියාවේ චාලි ටර්නර් වේග පන්දු යවන්නෙකි.

ප්‍රභාත්ට පසුව අඩුම ටෙස්ට් තරග සඛ්‍යාවකින් (තරග 8 කින්) කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා සුළුපටු අයකු නොව, කොදෙව් පිලේ සිටි විශිෂ්ටයකු වූ ඇල්ෆ්‍රඩ් වැලන්ටයින්ය. ප්‍රභාත්ගේ ටෙස්ට් කඩුලු 50 න් කඩුලු 46 ක් ගාල්ලේදී දවාගත් ඒවා ද වෙයි.

ස්ටර්ලිං දැවීයාමේ සිට තවත් ලකුණු 42 ක් ඇතුළත මුල් ඉනිමේදී ලකුණු 80 ක් ලබාගත් ලෝකන් ටකර් සහ ශතකයක් ලබාගත් කර්ටිස් කැම්පර් දැවී ගිය බැවින් බැල්බර්නිට නැවතත් පිටියට පිවිසීමට සිදුවිය. හැරී ටෙක්ටර් සමගින් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 40 ක් එක්කළ බැල්බර්නි අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී දැවී ගිය අතර ඕවර 3 ක් ඇතුළතදී රමේෂ් මෙන්ඩිස් සිය පස්වැනි කඩුල්ලත් දවාගත්තේය.


ලකුණු පුවරුව

1110

11101

111020

11103

11104

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්