දේශපාලන අනුග්‍රහය සහිත කප්පම් කල්ලියක තර්ජන හේතුවෙන් සියඹලාණ්ඩුව අවට ගොවි ජනයාට සිය එළවළු සහ ධාන්‍ය අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඌව ප්‍රජා ගුවන්විදුලිය, ගවේෂණාත්මක වැඩසටහනක් ඔස්සේ හෙළිදරව් කරයි.



අද (මැයි 01 වැනිදා) උදෑසන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ප්‍රචාරය කෙරුණු මෙම වැඩසටහනෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක වන කන්දෙකැටිය හා සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල හේන් ගොවීන් මුහුණපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එහිදී  අදහස් පළ කළ ගොවීන් මෙන්ම වෙළෙඳුන්ද ප්‍රකාශ කරන්නේ ප්‍රාදේශීය සභාවේ නිල අනුග්‍රහය ලත් මෙම කප්පම් කල්ලියේ ක්‍රියාකලාපය නිසා තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි.

අස්වනු රැගෙන නගරය ඔස්සේ ගමන් කරන ලොරි රථ බලහත්කාරයෙන් නතර කර, එක් ලොරියකින් රු. 4,000-5,000 අතර මුදලක් කප්පම් ලෙස ලබා ගන්නා බවත් අධික ප්‍රවාහන වියදමට අතිරේකව මෙතරම් කප්පම් මුදලක් ගෙවීමට සිදු වීමෙන් එම ද්‍රව්‍යවල විකිණුම් මිල ඉහළ යන බවත්, එම නිසා පාඩු සිදු වන බවත් ලොරි හිමියෝ ප්‍රකාශ කරති. මේ නිසා ගොවි නිෂ්පාදන රැගෙන යෑමට පැමිණෙන ලොරි රථ සංඛ්‍යාව අඩු වී ඇති අතර, ඉතා අසීරු තත්ත්වයක් යටතේ වගා කළ තම අස්වැන්න අලවි කර ගත නොහැකි වීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව ගොවීහු පවසති.

මෙම කප්පම් කල්ලිය, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොළ භූමිවල බදු අය කිරීම සඳහා ටෙන්ඩර් ලබාගත් බදුකරුවන් බවත්, ගොවීන් සිය නිෂ්පාදන වෙළෙඳුන්ට සෘජුව අලෙවි කිරීමෙන් පොළ බදුකරුවන්ගේ ආදායම අඩු වීම නිසා මෙලෙස ලොරි රථවලින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට පෙළඹී ඇති බවත් එම ගවේෂණයේදී හෙළි වී තිබේ.

 

අරුම පුදුම කාරණය නම්, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකදී අලෙවි කරන ගොවි නිෂ්පාදන වෙනුවෙන් බදු අය කර ගැනීමට, 2023 වසරේදී ප්‍රාදේශීය සභාවට ගෙනා යෝජනාවක් මගින් මෙම බදු කරුවන්ට අවසර දී තිබීමයි. ඌව ගුවන්විදුලියේ මාධ්‍යවේදියකු සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවෙන් කළ විමසීමේදී, එහි නිලධාරිනියක ඒ බව සනාථ කළාය. ගොවීන් පොළවල් වෙත නිෂ්පාදන රැගෙන ඒම අඩු වී, ගොවිබිම්වලදීම අලෙවි කරන ප්‍රවණතාව නිසා ප්‍රාදේශීය සභාවට ආදායම් අඩු වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවද ඇය ප්‍රකාශ කරයි.

 

නගරයේ ඇති පොළ භූමිවලින් කිලෝමීටර් 10ක් පමණ ඈතින් ඇති ගොවිබිම්වල සිට රැගෙන එන නිෂ්පාදනවලට පවා මෙලෙස මුදල් අය කරන බව එහිදී අදහස් පළ ලොරි රථ හිමියෙක් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායකගෙන් කළ විමසීමේදී, ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.


අදාළ Up Country Voice ගුවන්විදුලි වැඩසටහන පහතින් 




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්