සෑම පුරවැසියන් දෙදෙනකුටම එක සොල්දාදුවකු බැගින් ඉන්නා බවට ගණන් බලා ඇති මුලතිව් දිස්ත්‍රික්කයේ,

බලහත්කාරයෙන් වාඩි ලා සිටින ඉඩමක් නීත්‍යනුකූල අයිතියට පවරා ගැනීමේ යුද හමුදා උත්සාහයක් අනාවරණය වී තිබේ.

එසේ පවරාගැනීමට වෙහෙස වන්නේ රජයේම වෙනත් දෙපාර්තමේන්තුවකට අත්‍යාවශ්‍ය වී ඇති ඉඩමකි.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පවතින 64 වැනි  සේනාංකය ස්ථාපිත කර තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් අක්කර 25 ක භුමියක් නිල වශයෙන් පවරා ගැනීමට යුද හමුදාව දරන උත්සාහයක් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් විසින් හෙළිදරව් කරගෙන තිබුනේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම අතරතුරදීය.

මැයි 3 වැනිදා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම්, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් පී.ජෙයරානිගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන්, පොලීසිය, හමුදාව ඇතුළු නියෝජිතයන් කිහිප දෙනෙකුට එයට සහභාගී වී තිබුනි.

එම රැස්වීම අතරතුරදී යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයකු රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්ගෙන් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසාන කාලයේ පටන් අල්ලාගෙන 64 වැනි සේනාංකය ස්ථාපිත කර තිබෙන ඉඩමේ අයිතිවාසිකම තහවුරු කරගැනීම සදහා ප්‍රාදේශීය ලේකම්වරියගේ අනුමැතිය අවශ්‍ය වී ඇති බවයි.

"සර්, ඉඩමේ ප්‍රශ්නයක් තියනවා. 64 ඩිවිෂන් ඉඩමේ. 2009 ඉදන් පාවිච්චි කරනවා. තාම ඇක්වයර් කරලා නෑ. "

මේ වන විට 64 වැනි සේනාංකය ස්ථාපිත කර තිබෙන ඉඩම වෙනුවට වෙනත් ඉඩමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබා දී ඇති බවට හමුදා නිලධාරියා රජයේ දේශපාලනාධිකාරියට කළ ප්‍රකාශය සත්‍යයක් නොවන බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.


වාරිමාර්ග මර්මස්ථානයක්



යුද හමුදාව බලහත්කාරයෙන් වාඩි ලා සිටින අක්කර 25 ක භුමිය වෙනුවට වෙනත් ඉඩමක් ලබා දුන් බවට, යුද හමුදා නිලධාරියා ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී සිදු කළ  ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුලතිව් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සදහන් කරන්නේ 64 වැනි සේනාංකය ස්ථාපිත කර තිබෙන භුමිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මර්මස්ථානයක් බවයි.



එම භුමිය ප්‍රදේශයේ වාරිමාර්ග කටයුතු සදහා මධ්‍යස්ථානයක් ලෙස සකස් කළ ස්ථානයක් යැයි මාධ්‍යවේදීන් සමග කී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුලතිව් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශිවපාදසුන්දරම් විහිර්දන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගබඩාවක් සහ පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය ස්ථානයක් එහි සැලසුම් කර තිබු බවයි.

මේ වන විට 64 වැනි සේනාංකය ස්ථාපිත කර තිබෙන ඉඩමේ සිය දෙපාර්තමේන්තුවට අයත්ව තිබියදී එහි සිට කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මුලතිව් හි පිහිටි සියළු වැව්වල පාලන කටයුතු සිදු කිරීම මෙන්ම ප්‍රශ්නකාරී අවස්ථා වලදී මුලතිව් ගොවීන්ට සිය කාර්යාලයට පැමිණිමද පහසුවක් තිබු බවයි ශිවපාදසුන්දරම් විහිර්දන් පවසන්නේ.

වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා 2009 සිට පවතින අර්බුදය විසඳීමට රජයේ බලධාරීන් මැදිහත් වීමක් කර නැත.  

රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් හමුදා නිලධාරියාට දැනුම් දුන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ගැටළුව විසදාගන්නා ලෙස යි.

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් පී. ජෙයරානි ද සදහන් කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවයි.

 
 
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්