ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමට අනුව ක්‍රියා නොකරන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට පියවර තුනක වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීම හෝ අදාළ ආණ්ඩුකාර ධූරවලට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සාකච්ඡාවට ලක් වී ඇති මූලික පියවර දෙක වේ.

එසේ නැතහොත් ඉල්ලා අස්නොවන ආණ්ඩුකාරවරුන් තවදුරට ත් ජනාධිපතිගේ නියෝජිතයන් සේ නොසලකන බවට රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඔවුන්ගේ මුදල් ප්‍රතිපාදන කපා හැරීම තෙවන පියවර ලෙස සාකච්ඡා වී ඇත.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රතිචාරය සැලකිල්ලට ගෙන මෙම පියවර අනුගමනය කෙරෙනු ඇතැයි ද යම් හෙයකින් ඔවුන් ඉවත් වුවහොත් ජනපතිගේ ජපාන සංචාරයට පෙර නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙනු ඇති බව ද ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ප්‍රකාශකයෙක් පැවසීය.


ආණ්ඩුකාරවරු 4 ක් ජනාධිපතිට අභියෝග කරයි !


ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දුන් පළාත් ආණ්ඩුකාරවරුන් 4 දෙනා තනතුරුවලින් ඉවත් නොවී රජයට නීතිමය වශයෙන් අභියෝග කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම ආණ්ඩුකාරවරුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක දැනුම්දුන් අවස්ථාවේ එක් ආණ්ඩුකාරවරයකු තමන් තනතුරින් ඉවත් නොවන බව තරයේම ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය.

එනිසා ආණ්ඩුකාරවරුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙස ලිඛිතවම දැනුම් දීමට සිකුරාදා රජය තීන්දු කර තිබිණි.

 

මෙලෙස ආණ්ඩුකාරවරුන් කවර තීන්දුවක් ගත්තද පත්වීම් බලධරයා ලෙස ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව මෙකී ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් ඉදිරි සතියේදී පත්කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

 

ජනාධිපතිවරයාගේ පත්වීමක් වුවද තමන් තනතුරුවලින් ඉවත් කළ හැක්කේ දූෂණය, විෂමාචාරය, බලතල අයුතු ලෙස භාවිතය, අල්ලස, චරිත දූෂණය වැනි වරදක් සිදුකර ඇත්නම් ඒ ගැන පළාත් සභාව විසින් සම්මත කරන යෝජනාවකින් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ආ) වගන්තියේ සඳහන්ය. එබැවින් එම ක්‍රමවේදය අනුගමනය නොකර ආණ්ඩුකාරවරයකු ඉවත් කළ නොහැකි බව ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ගේ මතය වී ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා ප්‍රමුඛ නීති විශාරදයන්ගෙන් නීති උපදෙස් ලබා ඇත.

ඒ සම්බන්ධයෙන් සරත් එන්. සිල්වා ගෙන් කරුණු විමසූ විට ඔහු එම තොරතුර සනාථ කළේය.

ඒ අතර ජනාධිපති කාර්යාලයද මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ඇති බව වාර්තා වෙයි.

 

තවදුරටත් මේ ගැන ජනාධිපති කාර්යාලය නීති විශාරදයන්ගෙන් කරන ලද විමසුම්වලදී අනාවරණය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ඊ(2) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරුන් සිය අභිමතය ක්‍රියාත්මක කළ යුත්තේ ජනාධිපතිගේ විධානය අනුව බවය. ඒ අනුවද ආණ්ඩුකාරවරුන්ට තමන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කළ නොහැකි බව රජයේ මතය බව දැනගන්නට ඇත.

 

මෙයට පෙර අවස්ථාවක උතුරේ ආණ්ඩුකාර ධූරය දැරූ පී.එස්.එම්. චාල්ස් තනතුරින් ඉවත් නොවී සිටියදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජීවන් ත්‍යාගරාජා උතුරේ ආණ්ඩුකාර පදවියට පත්කර ඇති අතර එය නීතිමය පූර්වාදර්ශයක් ලෙස රජය සලකන බව වැඩිදුරටත් සඳහන්ය.


පළාත් ආණ්ඩුකාර ධූර ජනාධිපතිවරයාගේ පත්වීමක් බැවින් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇතිතාක් කල් එම තනතුර දරන බව ව්‍යවස්ථාවේ දැක්වෙයි. එහෙත් පසුව ගෙන ආ සංශෝධනයකින් එම වගන්තිය වෙනස් කර ඇති බැවින් ඉන් බලපෑමක් සිදුනොවන එම ආණ්ඩුකාරවරුන්ගේ මතය බව දැනගන්නට තිබේ.

පසුගියදා රජය තමන් දරන තනතුරුවලින් ඉවත් වන ලෙස දැක්වූ ආණ්ඩුකාරවරුන් වන්නේ වසන්ත කරන්නාගොඩ, අනුරාධා යහම්පත්, ටිකිරි කොබ්බෑකඩුව හා ජීවන් ත්‍යාගරාජා යන අයයි.

කවර හේතුවක් නිසා හෝ මේ අය ධූරවලින් ඉවත් කිරීමට රජය ගත් තීන්දුව වෙනස් නොකෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
 
 
එලෙස ඉවත් කෙරෙන පළාත් ආණ්ඩුකාරවරුන් වෙනුවට වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සබරගමුව පළාත සඳහා රංගේ බණ්ඩාර හෝ නවීන් දිසානායක, නැ‍ෙඟනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් සහ උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාල්ස් යන අය පත්කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්