ආගමික ස්ථානවල උත්සන්න වෙමින් පවතින දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන,

ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජන නතර කිරීමට වහා ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් 45 දෙනෙකු විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

“ළමා ආරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවකි. 2020 ජූලි සිට 2022 ජූලි දක්වා, දරුවන් දාහත්දෙනෙකු ශාරීරිකව හෝ ලිංගිකව අපයෝජනයට ලක්කර ඝාතනයට ලක්කර ඇත.” මෙම අර්බුදය විසඳීම සඳහා කිසිඳු ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම හමුවේ, මෙම බියජනක දත්ත හෙළිදරව් කරන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී සිටින ‘ළමා ආරක්ෂණ සන්ධානය’ (CPA) සිය කණගාටුව ප්‍රකාශ කර සිටියි.

 

ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) පනතෙහි එම අධිකාරියේ කර්තව්‍ය ලෙස 14(ග) වගන්තියේ සඳහන් කර ඇති “ළමුන් සඳහා ළමා රැකවරණ සේවා සපයන සියලු ආගමික හා පුණ්‍ය ආයතන අධීක්ෂණය කිරීම හා ඒ පිළිබඳව නියාමනය කිරීම” යන වගන්තිය අමාත්‍යවරයාට සිහිපත් කර දීමට ළමා ආරක්ෂණ සන්ධානයට සිදුව ඇත.

 

මීට පෙර අවස්ථාවක විහාරස්ථානයක සිදුවූ මෙවැනිම අපයෝජන සිදුවීමක් හෙළිදරව් වීමෙන් අනතුරුව, “අඩු වයස් පුද්ගලයන් අපයෝජනය කරන භික්ෂූන්වහන්සේලා ගේ භික්ෂුභාවය අහෝසිකළ යුතු” බවට 2022 ඔක්තෝබර් 22 වන දින අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය යළි සිහිපත් කර දීමට ද ඔවුහු කටයුතු කළහ.

“කෙසේවූවද, කණගාටුවෙන් වුවත් දැනුම් දීමට ඇත්තේ ආගමික ආයතනයන් ආශ්‍රිතව දරුවන්ට මුහුණ දීමට සිදුවන ශාරීරික හා ලිංගික අපයෝජන පිළිබඳව දැඩි මහජන විරෝධයක් හා එයට අදාළව ඔබ විසින් ප්‍රකාශ නිකුත් කළ ද;

අ) දරුවන්ගේ ආරක්ෂාව සැලසීමට අපොහොසත් වන අවස්ථාවන්හීදී අදාළ ආගමික ආයතන ඒ පිළිබඳව වගවීමට ලක්කරන වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට ඔබගේ අමාත්‍යංශය මෙතෙක් අපොහොසත් වී ඇති අතර;

ආ) දරුවන් අපයෝජනයට ලක්කරන පැවිද්දන් උපවැදි කිරීම හෝ පූජකත්වයෙන් නෙරපීම වැනි විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කිසිඳු ආගමික ආයතනයක් මේ දක්වා කටයුතු කර නොමැත;” අත්සන්කරුවෝ පෙන්වා දුන්හ.


වධහිංසාව පිටුදැකීම සඳහා වූ ගෝලීය පරිශ්‍රමයන් සමඟ එක්වෙමින්, “වධහිංසාවලින්” නිදහස ලබා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ඛන්ඩය ප්‍රකාරව වධහිංසාවලින් මිදීමේ පනත හඳුන්වා දීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ලැබුවේ 1994 වර්ෂයේ ය.

බෞද්ධ හා ආගමික කටයුතු සම්බන්ධයෙන් වගකියන අමාත්‍යවරයා වශයෙන්, අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන්වන දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු කඩිනමින් ක්‍රියාත්මක කරන මෙන් ළමා ආරක්ෂණ සන්ධානය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි:

අ) මෙම සිද්ධිවලට වගකිව යුත්තන්ට දේශපාලන ආවරණය හෝ රැකවරණය ලබා නොදීම - ඉහත ගම්පොල විහාරයේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබන හිමිනම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය යුහුසුළු කිරීම.

ආ) ‘දරුවාගේ යහපත උදෙසා’ යන ගෝලීය මූලධර්මයට අනුකූලව දරුවන් මහණ කිරීමට අවම වයස් සීමාවක් පැමිණවීම.

ඇ) දරුවන් බෞද්ධ ආයතනවලට භාර දීමේදී අනුගමනය කළ යුතු අවම ප්‍රමිතීන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ සමාජ සේවා ආයතනය ඒකාබද්ධව ප්‍රතිපත්ති සකස් කිරීම සහ එම ආයතන නිසි පරිදි නියාමනය කිරීම.

ඈ) වයස 18ට අඩු හිමිවරුන්ගේ අභිවෘද්ධිය ප්‍රතිපත්ති ප්‍රකාරව අවම වශයෙන් මාස 06කට වරක් නිරීක්ෂණය කිරීම සහ පසු විපරම් කිරීම.

ඉ) සෑම ධර්මායතනයකටම ළමා අයිතීන්, ආරක්ෂණය සහ භාරකාරත්වයේ වගකීම පිළිබඳ වාර්ෂික පුහුණුවීම් සහ දැනුවත් කිරීම් අනිවාර්‍ය කිරීම.

ඊ) ආගමික ස්ථාන තුළ අතීතයේ සහ වර්තමානයේ සිදුකෙරෙන ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම.


ආගමික ස්ථානවල හටගෙන තිබෙන ළමා ආරක්ෂණ අර්බුදය ජාතික ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රයේ අත්‍යාවශ්‍ය අංගයක් සේ සලකා අමාත්‍යවරයා සමඟ හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ලබා දෙන මෙන් ද අත්සන්කරුවෝ ඉල්ලා සිටිති.


සබැඳි පුවත් :
පොඩි සාදුට දසවද දුන් නරුමයින් තවමත් නිදැල්ලේ !

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්