හාම්පුතුන්ට වාසිදායක ලෙසින් කම්කරු නීති සියල්ල තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමේ

ආණ්ඩුවේ පිළිවෙතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහාය පළ කිරීම ගැන වෘත්තීය සමිති විරෝධය එල්ල වී තිබේ.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසින් නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් චෝදනා කරන්නේ කම්කරු ඇමතිවරයා විසින් “මහජන අදහස් ලබා ගැනීම සඳහා” යැයි ඔහුගේ තේරීමට අනුව ඉකුත් මැයි 10 වැනිදා කැඳවූ ආරාධිතයන්ගේ රැස්වීමකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක ලෙස නීතිඥ කණිෂ්ක වීරසිංහ සහභාගිවී ඇති බවයි.

කලක් හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වූ නීතිඥ කණිෂ්ක වීරසිංහ විසින් කම්කරු ඇමතිවරයාගේ උත්සාහය ඉමහත් අගය කිරීමකට ලක් කර, “ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීමට අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවට” සහතික වූයේ යයි මාධ්‍ය වාර්තා කර තිබු බවට එම ලිපියේ දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී හා විනිවිද බවෙන් තොර ආණ්ඩුවේ මේ උත්සාහය වෘත්තීය සමිති බැහැර කරමින්, ඇතැම් හාම්පුතුන්ගේ ද මැදිහත්වීමෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමක් බවට වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් පෙන්වා දෙයි.

 “මහජන අදහස් ලබා ගැනීම” ලෙස නම් කෙරුණු එම රැස්වීමට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 14 අතුරින් සහභාගීවී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ සමිති 3ක් පමණකි.


ආයෝජකයන් නොඑන්නේ ඇයි?

ආයෝජකයන් ගෙන්වා ගැනීමට කම්කරු නීති යාවත්කාලීන කිරීමට අවශ්‍ය යැයි කෙරෙන තර්කය ගැන එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ කිසිදු ආයෝජකයකු මෙතෙක් එවැනි ප්‍රකාශයක් කර නැති මුත් එවැන්නක් ඉල්ලා සිටින්නේ මෙරට දේශීය ජාවාරම්කරුවන් පමණක් බවයි.

රටට ආයෝජන නොපැමිණීමට හේතුව සේවක සුරක්ෂාව සඳහා වන කම්කරු නීති නොව, දූෂිත ආණ්ඩු පාලනය සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ සේවා සැපයුම් සතු ඌණතාවත්, දැනට රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයත් එයට හේතු වී ඇතැයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක
සංගමය විසින් නීතිඥ සංගමයට පෙන්වා දී ඇත.

නීතිඥ සංගමයේ ක්‍රියා කලාපය වෘත්තීය සමිතිය විසින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.


“ආණ්ඩුවේ මෙම කම්කරු නීති සංශෝධන ව්‍යාපෘතියට සහාය දක්වන ලෙස කම්කරු ඇමතිවරයා හෝ කම්කරු අමාත්‍යාංශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කෙදිනක හෝ නිල වශයෙන් ආරාධනා කර තිබේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් ලෙස දැනට ක්‍රියාත්මක කම්කරු නීති සංශෝධන ව්‍යාපෘතියට පූර්ණ සහාය දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිල වශයෙන් තීන්දු කර තිබේද? එකී සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කිරීමේ අවසරය නීතිඥ කණිෂ්ක වීරසිංහට නිල වශයෙන් පවරා තිබේද? කම්කරු නීති වෙනස් කිරීමේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන ගැන නීතිඥ සංගමය කෙදිනක හෝ සාකච්ඡාකර තිබේද? එසේ නම් ඒ කවර කාරණා සම්බන්ධයෙන්ද?” යනුවෙන් ප්‍රශ්න මාලාවක් නීතිඥ සංගමයට යොමු කර තිබේ.



“එවැනි කිසිදු ගනුදෙනුවක් නීතිඥ සංගමය ලෙස කම්කරු ඇමතිට හෝ ඔහුගේ අමාත්‍යාංශයට ඔබලාගේ ලැදියාවක් නොමැත්තේ නම්, මෙරට මිලියන 08 ට වැඩි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ කම්කරුවන් වෙනුවෙන් අදාළ මාධ්‍ය වාර්තා නොපමාව නිවැරදි කරන” ලෙස  වෘත්තීය සමිති නායක මාකස් විසින්  නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න වෙත යොමු කළ ලිපිය මගින් ඉල්ලා තිබේ.
 
මිට පෙර කම්කරු නීති තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමට 2016 වසරේදී යහපාලන ආණ්ඩුව විසින් උත්සාහ කරනු ලැබූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගත් ණය සහනාධාර වැඩසටහන යටතේයි. “යුඑස්ඒඩ්” ආයතනය ඊට මූල්‍ය ආධාර හා තාක්ෂණික සහාය දුන් මුත් වෘත්තීය සමිති දැක්වූ විරෝධය හේතුවෙන් එම ප්‍රයත්නය හකුළා ගැනීමට සිදුවිය.
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්