තායිලන්තයේ ආයතනයන් සඳහා රැඩිකල් ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටින විපක්ෂයට පක්ෂව

තායි ඡන්දදායකයින් විශ්මයජනක තීන්දුවක් ලබාදී තිබේ.

මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන පරිදි, 'මූව් ෆෝවර්ඩ්' පක්ෂය සෑම අනාවැකියක්ම ඉක්මවමින්, පහළ මන්ත්‍රණ සභාවේ ආසන 500න් 151ක් දිනාගනු පිණිස ඉදිරියට යමින් සිටියි.

එය දැනටමත්, මැතිවරණ තරගයේ ඉදිරිපෙළ ධාවකයෙකු වූ ද, හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණියගේ නායකත්වය යටතේ පවතින්නා වූ ද 'ෆුවෙ තායි' පක්ෂයට වඩා ආසන 10ක් දිනා තිබේ.

මෙය, මහජන මතයේ සැළකිය යුතු වෙනසක් නියෝජනය කරන දේශපාලන භූ කම්පනයක් ලෙස විශ්ලේෂකයින් විසින් හැඳින්වෙයි.

එසේම එය වත්මන් රජයේ හමුදා-ගැති දෙපක්ෂය ද, තායිලන්තයේ ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව නෙරපා හැරීමට 2014 දී හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ අගමැති ප්‍රයුත් චං-ඔචා ද ප්‍රතික්ෂේප කිරීමකි. පාලක සභාගය දිනා තිබෙන්නේ ආසනවලින් 15%ක් පමණි.

"ඡන්ද බහුතරයෙන් පිළිබිඹු වෙන්නේ 'ප්‍රයුත් රෙජීමයෙන්' ගැලවීමේ උවමනාවක් සහ වෙනසක් සඳහා දැඩි කැමැත්තක්," තම්මසාත් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යාඥයෙකු වන ප්‍රජාක් කොංකිරාති පවසයි. "ඒකෙන් පෙන්නන්නේ 'මූව් ෆෝවර්ඩ්' එකෙන් වෙනසක් ඉල්ලනවා කියලා මිනිස්සු විශ්වාස කරනබව - කලින් හිතුවාටත් වඩා වැඩි මිනිස්සු පිරිසක් [ඒක විශ්වාස කරනවා]."

තායි සමාජ මාධ්‍යයන් දැනටමත් 'මූව් ෆෝවර්ඩ්' පක්ෂයේ ආධාරකරුවන්ගේ ජය පණිවුඩවලින් පිරීගොස් ඇත. තමා "ඕගැනික ඡන්ද ප්‍රචාරකයින්' ලෙස හඳුන්වාගන්නා ඔවුන්, පක්ෂයේ ජයග්‍රහණය "වෙනස්වීමේ සුළඟක්" හා "අලුත් යුගයක උදාවක්" ලෙස හඳුන්වයි.

"මේ මැතිවරණෙන් අපට කියනවා, තවමත් ගෙවිලා තියෙන්නේ අවුරුදු හතරක් විතරක් වුණාට මිනිස්සුන්ගේ චින්තනේ සෑහෙන වෙනස්වෙලා කියලා, පවතින ආණ්ඩුවට [සහාය දෙන] සහ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර යන දෙගොල්ලන්ගේම," එක් ට්විටර් පණිවුඩයක සඳහන් විය. "ප්‍රජාතන්ත්‍රවාදය සුළුකොට තකන්න බැහැ"යි ද එහි සඳහන් විය.

"ඔවුන්ට චින්තයට සහ ඉල්ලීම්වලට හැඩගැහෙන්න බැරි නම්, ඔවුන්ට පරදින්න සිද්ධවෙනවා."

මූව් ෆෝවර්ඩ්හි 42-හැවිරිදි නායක පිතා ලිම්ජරොඑන්රාත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් උපාධිය ලබාගත්තෙකි. තමා තායිලන්තයේ 30 වැනි අගමැතිවීමට "සූදානම්" බව ඔහු ට්විටර් පණිවුඩයක් මඟින් ප්‍රකාශකර තිබුණි. "අපේ සිහින, අපේක්ෂා එකම විදිය යි. අපි එක්ව විශ්වාස කරනවා අපේ තායිලන්තය මීට වඩා හොඳවෙන්න පුළුවන් කියලා. අපි අද වෙනස්කම් වෙනුවෙන් වැඩ කරන්න පටන්ගත්තොත්, ඒක සිද්ධවෙන්න පුළුවන්," ඔහු ලිවීය.

tAI 3එසේම, මෙම ඡන්දය දශකයකට ආසන්න හමුදා පිටුබලය සහිත පාලනය ද ප්‍රතික්ෂේප කිරීමකි.


තායිලන්තයේ නිලධාරීවාදය, ආර්ථිකය, හමුදාවේ කාර්යයභාරය සහ රාජතන්ත්‍රය ආරක්ෂා කරනා නීති පවා මුළුමනින්ම වෙනස් කිරීමට යෝජනා කරන 'මූව් ෆෝවර්ඩ්' වැනි පක්ෂයකට එහි විරුද්ධවාදීන් කිසිවෙකුට වඩා ඡන්ද හා ආසන දිනාගැනීමට හැකිවේයැ යි කලෙක කිසිවෙකුත් සිතුවේ නැත.

2020 දී මාස ගණනක් පුරා පැවතුණු ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය අවුළුවන ලද්දේ ද මෙම ගැටලුම වීම අහම්බයක් නොවේ. මූව් ෆෝවර්ඩ්හි ඇතැම් ඡන්ද අපේක්ෂකයින් එම ව්‍යාපාරයේ නායකයින්ව සිටියේ ය. එසේම, 2020 විරෝධතාවන්හි දී මෙන්ම, තරුණ හා උද්යෝගීමත් ඡන්දදායකයින් (ඔවුන්ගෙන් බොහෝදෙනා මූව් ෆෝවර්ඩ්හි අනුගාමිකයෝ වෙති) ඡන්ද ප්‍රතිඵල අළලා විශාල භූමිකාවක් රඟදැක්වීය.

මැතිවරණයට පෙර සතිවල දී, තරුණ පක්ෂයට පක්ෂපාතීව ඇතිව තිබූ මානසිකත්වය පැහැදිලිව දක්නට ලැබුණි. තායි සමාජ මාධ්‍ය නව මීම් රැල්ලකින් පිරී ගියේ ය - මූව් ෆෝවර්ඩ්හි තායි නාමයට පැහැදිලි අනුමැතිය පළකරමින් ජනයා පිම්මක් පැන තිබුණේ ය.

මෙය සත්‍ය ලෝකයේ දී පිළිබිඹු වූයේ ඉරිදා (මැයි 14) ඡන්දපොළවල දී ය. ජනයා තම සහයෝගය පෙන්වීම සඳහා අතිශයෝක්තියෙන් යුත්, විසල් පියවර තබා තිබුණි. තමන් සහයෝගය දක්වන පක්ෂය එළිපිට ප්‍රකාශ කිරීම මැතිවරණ නීති මඟින් ඡන්දදායකයින්ට තහනම්කර ඇති හෙයින්, තමාගේ තෝරාගැනීම ලොවට පෙන්වීමට ඔවුනට තිබූ එකම ක්‍රමය එය විය. අනෙක් තැනැත්තන් පක්ෂය මැතිවරණය සඳහා තෝරාගෙන තිබූ තැඹිලි වර්ණයෙන් කමිස, සෙරෙප්පු හා සපත්තු ඇඳ සිටියේ ය.

tAI 2මූව් ෆෝවර්ඩ් පක්ෂය සඳහා සහාය දැක්වීමක් ලෙස "විශාල පියවර" තබන තායිලන්ත ජාතිකයින්ගෙන් සමාජ මාධ්‍ය පිරී ඇත


විපක්ෂ ඡන්ද අපේක්ෂකයින්ට සාපේක්ෂව මූව් ෆෝවර්ඩ්හි අපේක්ෂකයින් සතුව තිබි සම්පත් ප්‍රමාණය අවමවිය. ඔවුන්ගේ පණිවුඩය බෙදාහැරීම සඳහා සමාජ මාධ්‍ය වෙත යැපීමට ඔවුනට සිදුවූ අතර බයිසිකල් වැනි පැරණි තාක්ෂණය භාවිතා කිරීමට සිදුවිය. අනෙක් පක්ෂයන්ට වඩා ඔවුන්ගේ දැක්ම පැහැදිලිවීම ද ඔවුන්ගේ සහායට සිටියේ ය.

2014 හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ කිසිදු පක්ෂයක් සමග සභාග සැදීම මූව් ෆෝවර්ඩ් විසින් ප්‍රතික්ෂේප කෙරිණි. මෙය එහි ප්‍රතිසංස්කරණවාදී විරුද්ධකරු වන ෆුවෙ තායි පක්ෂය මුල දී මඟහැර ගිය ආස්ථානයකි. එසේම, එම පක්ෂය නැවුම් හා නිර්භීත වන අතර පහුගිය පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය.

වෙනසක් සඳහා වන පුළුල් මහජන කැමැත්තෙන් ද එය ප්‍රතිලාභ ලදබව පෙනෙයි. වයස්ගතවන ජනගහණය විශාල තායිලන්තයේ, වයස අවු. 26ට අඩු ඡන්දදායකයින් විශාල පිරිසක් නොවේ (ඔවුන් ඡන්දදායකයින් මිලියන 52කින් 14%ක් පමණි). නමුත් ඔවුන් සිය පරම්පරාවට වඩා හොඳ අනාගතයක් ලබාගැනීම සඳහා මූව් ෆෝවර්ඩ් වෙත ඡන්දය දෙන්නැ යි වයස්ගත ඡන්දදායකයින් පොළඹවා ගැනීමට විශාල වැඩකොටසක් ඉටු කළේ ය.

නමුත් මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, වෙනසක් සඳහා ජනවරමක් ලැබී තිබියදීත්, ප්‍රතිසංස්කරණවාදී පක්ෂ ද්විත්වයට රජයක් පිහිටුවීමට අවසරය ඇත්ද යන්න යි.

අගමැති ප්‍රයුත්ගේ හමුදා රජය යටතේ පත්කෙරුණු සෙනෙට් සභිකයින් 250 දෙනාටම ඊළඟ පාලනය සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයට සහභාගීවීමට අවසර තිබේ. මූව් ෆෝවර්ඩ් සහ ෆුවෙ තායි යන දෙපක්ෂයට පහළ මන්ත්‍රණ සභාවේ අසුන්වලින් 60%කට ආසන්නයෙන් ලැබී තිබුණ ද, දෙපක්ෂයේ සභාගය අවහිර කිරීමට අදාළ ඡන්ද විමසීම මඟින් සෙනෙට් සභාවට බලය ලැබේ.

tAI 1පේතොන්තාන් ෂිනවත්‍රා විසින් නායකත්වය සපයන ෆුවෙ තායි මැතිවරණ ප්‍රතිඵලවල ඉදිරියෙන් සිටියේ ය.


මූව් ෆෝවර්ඩ් සහ ෆුවෙ තායි සභාගය විසින්, ආසන 70ක් සහිත තෙවැනි විශාල පක්ෂය වන භූම් ජායි තායි හා තවත් පක්ෂ කීපයක් සහභාගීකර ගතහොත්, සෙනෙට් ඡන්දය අභිබවා යෑමේ හැකියාව ඔවුනට ලැබෙයි. නමුත්, පරාජය හමුවේ සිටින ගතානුගතික කඳවුර ප්‍රතිසංස්කරණවාදීන් බලයෙන් ඈත්කිරීමේ උත්සාහයක් ලෙස පාර්ලිමේන්තුවට පිටතින් උපාමාරුවකට යොමුවීමේ අවදානමක් ද තිබේ.

නව හමුදා කුමන්ත්‍රණයක් සිදුනොවනු ඇතත්, මූව් ෆෝවර්ඩ් පක්ෂයේ පූර්වගාමියා වූ 'ෆියුචර් ෆෝවර්ඩ්' පක්ෂයට 2020 දී සිදුවූ පරිදි, තාක්ෂණික කරුණක් මත පදනම්ව මූව් ෆෝවර්ඩ් පක්ෂය නුසුදුස්සෙකුයැ යි තීරණය කිරීමේ අධිකරණ තීන්දුවක් පැමිණීමට හැකි ය.

අනෙක් ප්‍රශ්නය නම්, පසුගිය පාර්ලිමේන්තුවේ දී එතරම් යහපත් සබඳතාවක් නොතිබි මූව් ෆෝවර්ඩ් පක්ෂයට හා ෆුවෙ තායි පක්ෂයට කෙතරම් හොඳින් එක්ව කටයුතු කළ හැකි ද යන්න යි. එසේම, මූව් ෆෝවර්ඩ්හි නායක පිතා කෙතරම් දක්ෂ පාර්ලිමේන්තු සභිකයෙකුවුව ද, සභාගය සැදීමේ සහ පවත්වාගෙන යෑමේ නිර්දය කලාව සම්බන්ධයෙන් පරික්ෂාවට ලක්වී නැත.

එසේම, මුදුනා වීමේ හෝ මහා ජයග්‍රහණයක් අත්කර ගැනීමේ අපේක්ෂාවන් භංගවීම ද දරා ගැනීමට ෆුවෙ තායි පක්ෂයට සිදුවේ.

එය, ගතානුගතික, හමුදා-ගැති පාලනයකට විරුද්ධ තැනැත්තන්ගේ වීරයා ලෙස දැරූ තත්ත්වය ද, අලුත් බලවතා ලෙස පිළිගැනෙන මූව් ෆෝවර්ඩ් ඉදිරියේ අහිමිවී තිබේ. දැන් එයට සභාගයක දී මුව් ෆෝවර්ඩ්හි සමයෙකු හෝ කනිෂ්ඨ සහකරුවෙකු ලෙස පැවතීමට හුරුවන්නට සිදුවේ. එය ෆුවෙ තායි පක්ෂයට සහ එහි නායකයින්ට නුහුරු දෙයකි.


(ජොනතන් හෙඩ්)
බැංකොක් සිට

BBC සිංහල සේවය


සබැඳි ලිපියක් :

'පෙරට යමු' තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස්කරන ලකුණු - (Mahesh Hapugoda)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්