අවුරුදු 28 ක් තිස්සේ කැසිනෝ බලපත්‍ර හතර මගින් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන

මගින් එකතු කරගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මේ එකතුවන මුදල පිළිබඳ අදාළ බලධාරීන් ලබාදෙන තොරතුරු මත යනවා මිසක්, ස්වාධීන ඇගයීමක් කිරීමේ හැකියාවක් ද මුදල් අමාත්‍යාංශයේ අදාළ ආයතන වලට නැත. එසේ තිබිය දී තිබෙන හතරට අමතරව නව බලපත්‍ර හතක් ලබා දීමට සූදානම් වන බව ද රණවක මන්ත්‍රීවරයා පැවසුයේ අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

''රේගු දෙපාර්තමේන්තුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ මේ රටේ ආදායම් ක්ෂේත්‍රවලට අදාළ යම් යම් නිවේදන ප්‍රථම විශේෂයෙන්ම පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රේගු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිළිබඳ යෝජනාව මුදල් කාරක සභාවට ආපු අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ සංශෝධන අපට සිදුවුණා ආපසු හරවා යවන්න. ඒ, ව්‍යවස්ථාවට අනුකූලව කැබිනට් මණ්ඩලය අනුමත නොකරන දෑ පාර්ලිමේන්තුවට පණත් ලෙස ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති නිසා.

ඒ නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අපි ඉල්ලා සිටිනවා මින් ඉදිරියට ඒ පිළිබඳව පරීක්ෂා කර බලා ව්‍යවස්ථාවට අනුකූලව අණපනත් පාර්ලිමේන්තුව වෙත රැගෙන එන්න අදාළ කමිටුව වෙත රැගෙන එන්න කියලා. මේ වර්ගයේ බලහත්කාරී ලෙස යම් යම් අණපනත් ගෙනැවිත්  ඒවාට යම් යම් සංශෝධන කිරීමට උත්සාහ කිරීම අපි අතීතයේ දැක්කා. ඒ අතීත ප්‍රතිඵල ඒ ක්‍රියාදාමයන් අද අපි භුක්ති විඳිමින් ඉන්නවා.



'' මොකද අපි දැක්කා 2002 දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ Fiscal Responsibility Act කියලා එකක්. ඒ අනුව රටට ණය ගැනීමේ සීමාවන් පැනෙව්වා. නමුත් ඒ එක සීමාවක්වත් මේ වන තෙක් ඉෂ්ඨ කරලා නෑ. හැමදාම කළේ මේ පාර්ලිමේන්තුවට බලෙන් ගෙනල්ලා ඒ ණය සීමාවන් ඉහළ දමාගෙන අද ලංකාව ණය අතින් බංකොලොත් රටක් බවට පරිවර්තනය වීම. ඒ වගේම මුදල් අමාත්‍යාංශයටම අදාළ වෙලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කරන Finance Act එක, ඊට අනුකූලව, මහ බැංකුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය හැටියට අද අපි විදේශීය ණය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. ''



ඇත්ත වශයෙන්ම මේ රට අද පත්වෙලා තිබෙන ව්‍යසනයේ තරම මම පෙන්නලා දුන්නා. එදා යහපාලන ආණ්ඩුවේ 3% වර්ධනය ගැන විශාල විවේචන කළා. 7% ක වර්ධනයක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වුණේ. නමුත් ඒ 3% වර්ධනය ලබාගන්න සිද්ධ වුණේ දැවැන්ත ණය කන්දක් ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයකට රට පත්වෙලා තිබූ තත්ත්වය තුළ එය අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ගයේ කොටසක් හැටියට තමයි එදා ඒක කරන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ කිසිම දෙයක් ගැන විධිමත් විශ්ලේෂණයකින් තොරව බදු ප්‍රතිපත්ති ලිහිල් කරලා ඒ වියත් මගට ආධාර කරපු රටේ ධන කුවේරයන්ට බදු සහන ලබා දීලා රට මහා විපත්තියක හෙලුවා.



ඒ වගේම අපි දැක්කා කැසිනෝ සම්බන්ධයෙන්, ඒ වගේම ඔට්ටු සූදු සම්බන්ධයෙන් යම් නීති රීති ප්‍රමාණයක් ගෙනල්ලා තිබෙන බව. මේ රටේ කැසිනෝ අවුරුදු විසි අටක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවුරුදු 28 ක කාලය තුළ, ඒ වාර්තා වූ කරුණු අනුව බැලුවහම, 2022 වෙනකන් නිවැරදි අණ පනතකට අනුව කැසිනෝ මේ රටේ පවත්වාගෙන ගිහිල්ලා නෑ. එනම් නීතියට පිටත්ව නීතියෙන් පිටතින් එම ආයතන පවත්වගෙන ගිහින් තියෙනවා. ඒ වගේම මේ කැසිනෝ වලින් බදු කිහිපයක් අය කරනවා. ඒ ආරම්භයේදී ලබාගන්නා මුදල, ඒ කියන්නේ එකට ලබා ගන්නා දේ. ඊළඟට වාර්ෂික එකතුවට ලබාගන්නා මුදල, ඒ වගේම එක කියලා ඩොලර් 100 ක් තාමත් මේ රටේ මේ ඩොලර් හිඟය ගැන කතා කරනවා. හැබැයි මේ එක්කම පවතින කැසිනෝ පර්මිට් හතරෙන් මේ වෙන තෙක් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන එකතු කරලා නෑ. මේ අවුරුදු විසි අටටම. ඒ වගේම මේ ලබාදෙන මුදල පිළිබඳව, මේ එකතුවෙන, එහෙම නැත්නම් මේ එක පිළිබඳව ඒ අදාළ බලධාරීන් ලබාදෙන තොරතුරු මත යනවා මිසක්, ස්වාධීන ඇගයීමක් කිරීමේ හැකියාවකුත් මුදල් අමාත්‍යාංශයේ අදාළ ආයතන වලට නෑ.



තවත් 7 ක් අලුතෙන් දෙන්න යනවා !

ඒ වගේම නව බලපත්‍ර හතක් ලබා දෙන්න යනවා. මේ හතරට අමතරව. මේ තියෙන හතර මුලින් විධිමත්ව පරිපාලනය කිරීමේ මුලින් විධිමත්ව නියාමනය කිරීමේ ක්‍රමවේද එකක්වත් සකසන්නේ නැතුව තවත් අලුත් බලපත්‍ර 7 ක් ලබා දෙන්න යනවා. මීට වඩා විශාල සංචාරක ව්‍යාපාරයන් එන, සිංගප්පූරුවේ, මැලේසියාවේ, මේ කැසිනෝ සිය ගණන් ඇති කරලා නෑ. කැසිනෝ දෙකයි, නැත්නම් තුනයි, හතරයි. මොකද, විධිමත් නියාමන විධිමත් පරිපාලන ව්‍යුහයක්, විධිමත් ආදායම් එකතු කිරීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වය තුළ, තව බලපත්‍ර හතක් හිතවතුන්ට බෙදා දුන්නයි කියලා. ඒකෙන් ඇතිවෙන කිසිම ප්‍රයෝජනයක් මේ රටට නැහැ.

ඒ වගේම මම යෝජනා කරනවා, දැන් එක ක්‍රියාත්මක වෙලා තියෙන නිසා, වෙනම ආයතනයක් ඒ බලන නිසා, දැනට මේ ප්‍රධාන භූමියේ ක්‍රියාත්මක වෙන කැසිනෝ සියල්ලම, ඇත්ත වශයෙන්ම කළයුතු වන්නේ, ඒ බලපත්‍ර හතර යවන එකයි. ඒ හතර යවලා, ඒ විධිමත් ආකාරයකට ඒවා නියාමනය කරන එකයි.


ඒ නිසා මුදල් අමාත්‍යාංශය මේ රටේ වෘත්තීයවේදීන්ගෙන් බදු ගහනවා නම්, මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ වැට් බදු 15% කින් නංවනවා නං, මෙවැනි බලගතු ව්‍යාපාරවලින් බදු අයකර ගැනීම, ආදායම් එකතු කර ගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් මේ ආයතන වලට නොමැති වීම ගැන අපි ඉතාම කණගාටුවට පත්වෙනවා.



''ඩොලර් දාහක් රට යවනකොට ආපසු ලංකාවට ගෙන එන්නේ ඩොලර් 240 ක් පමණයි''

ඒ වගේම මේ රටේ අද තිබෙන බරපතලම ගැටලුවක් තමයි, අපේ රේගු දෙපාර්තමේන්තුව හරහා, මේ ආනයන අපනයන ක්‍රියාදාමය. බොහොම මෑතදී තමයි මහ බැංකුව ගිය අවුරුද්දේ, ජූලි මාසෙදි මේ අපේ අපනයනකරුවන් පිළිබඳ හැදෑරීමක් කළේ. මොකක්ද ආව උත්තරේ? ඩොලර් දාහක් රට යවනකොට ආපසු ලංකාවට ගෙන එන්නේ ඩොලර් 240 ක් පමණයි. එනම් 24% යි. අපි ආඩම්බර වෙනවා මේ රටේ, අපනයනකරුවෝ ගැන. ඒ අපනයනකරුවෝ ගැන ආඩම්බර වුණාට, අපනයනකරුවන් තමන්ගේ අපනයන මුදල් මේ රටට ගෙන එන්නේ නෑ. ඒවා විදේශ රට නවත්තලා තියෙනවා.
 

අද අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක. විදේශ රටවල, විශේෂයෙන්ම ඩුබායි රටේ, එහෙම නැත්නම් සිංගප්පූරුවේ තමන්ගේ අනු සමාගම් ලියාපදිංචි කරලා, ඒ හරහා, අපේ අපනයන කරගෙන යන්න. ඒ අනුව අපනයනවලින් එන ආදායම, ඇත්ත ආදායම, මහ බැංකු වාර්තාවේ තියෙන ආදායමෙන් ¼ කටත් 1 කටවත් වඩා අඩුයි. අපි ඉතාමත්ම මායාකාරී ආර්ථික තත්වයක තමයි, ජීවත් වෙමින් තිබෙන්නේ.
 


''හැම වසරේම ඩොලර් බිලියන 2-2.5 අතර ප්‍රමාණයක් Over Invoice Under Invoice ක්‍රමයට රටින් ඉවතට යනවා''

ඒ විතරක් නෙවෙයි, හැමදාම මිනිත්තුවක කාලයක් තියෙනවා. හැමදාම මේ රටේ තිබිච්ච බලගතු ප්‍රශ්නයක් මේ සභාවේ. මම තමයි 2016 දී මේක මුලින්ම පෙන්නලා දුන්නේ. Global Integrity Report එකට අනුව හැම වසරේම ඩොලර් බිලියන 2-2.5 අතර ප්‍රමාණයක් රටින් ඉවතට යනවා. Over Invoice Under Invoice ක්‍රමයට. අපි රැස්වීම් ගණනාවකම ඒක ගැන කිව්වා. තාමත් රේගු දෙපාර්තමේන්තුවට එය වළක්වා ගැනීමේ අන්තර්ජාතික ක්‍රමවේදයක් තවමත් නැහැ. මේක ලෝකේ හැම රටකම වෙනවා. හැබැයි ලංකාවේ ප්‍රතිශතය අපේ අපේ සමස්ත ජාත්‍යන්තර වෙළඳාමට අනුව ලෝකයේ ඉහළම ප්‍රතිශතයක් මේ ආකාරයට රටේ තියෙන ඩොලර් සංචිත එළියට ගෙන යාම.

ඉතින් ඒක නිසා මේ ආයතන පළමුව විධිමත් කරගත යුතුයි. පළමුව මේවා විධිමත්ව නියාමනය කළ යුතුයි. ඒ වගේම මේ ආයතනවල මේ අරමුදල්, ඒ වගේම ආදායම් එකතු කරන ඒ ක්‍රමවේදයන්, යාන්ත්‍රිකරණය කළ යුතුයි. ඩිජිටල්කරණය කළ යුතුයි. හැබැයි ඒ කිසිවක් කරලා නැතුව අද මේ රට ආර්ථික අර්බුදයට පත් වූ අවස්ථාවේදී ඒ සියල්ලේ අපේ සාමාන්‍ය ජනතාව මතට, වෘත්තීයවේදීන් මතට පැනවීම ඉතාම අයුක්තිසහගත ක්‍රියාවක්.”

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්