1200 x 80 DMirror

රජයට විරෝධය පෑම සඳහා ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලබන 7දා කොළඹට පැමිණීමට නියමිතව ඇති අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් ලබන 8දා ජාතික ජන බලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණීමට නියමිත ය.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබේ.

“ජන මතයට ඉඩ දෙනු! පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු!,”

මාස තුනක් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීමට බල කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මෙසේ ලබන 8දා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

“ජන මතයට ඉඩ දෙනු! පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු!,” මැයෙන් පවත්වන මෙම උද්ඝෝෂණය ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවක් දක්වා දියත් කිරීමට සූදානම් බව එම පක්ෂය ‘මව්බිම’ට පැවසීය.

ඒ අනුව, 8 වන දා පස්වරු 3.00 ට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වනු ඇත.

එමෙන් ම, මෙම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවයේ ඇතැම් අපේක්ෂකයන්ට මාස පහකට ආසන්න කාලයක් තිස්සේ සිය වැටුප් ලැබී නැති බව වාර්තා වන අතර ඊට එරෙහිව ද මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.

එම පක්ෂය සඳහන් කළේ, වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැහැදිලි වුවමනාව ඡන්දය කල් දැමීම මිස ඡන්දයක් පැවැත්වීම වෙනුවෙන් රටේ ආර්ථික මුදල් ප්‍රශ්නයක් මේ වන විට නොමැති බව ය.

එම නිසා ඡන්දය පවත්වා ගැනීම වෙනුවෙන් දිගින් දිගට ම රජයට බලපෑම් කරන බවද එම පක්ෂය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

(mawbima.lk)

 

JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය