යහපාලන ආණ්ඩුව සමයේ මහා පරිමාණයේ වංචා-දුෂණ සිදුකර ඇතැයි කියන මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිව

දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් විශේෂ කමිටුවක් මේවනවිට ක්‍රියාත්මකවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එහිදී එකල ඒකාබද්ධ විපක්ෂය විසින් යහපාලන ආණ්ඩුවේ 'ටොප් ‌ටෙන් ‌හොරුන්' ලෙස හැඳින්වූ ඇමතිවරුන්ට එරෙහිව මුලික අවධානය යොමුකරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් 10 දෙනෙකුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් එකල අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා රහස් පොලීසියට පැමිණිලි ඉදිරිපත්කර තිබු අතර එහි මුලිකත්වය ගෙන කටයුතු කළේද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය. ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ෂෙහාන් ‌සේමසිංහ හා කංචන විජේසේකර වැනි මන්ත්‍රීවරුන් ඊට අදාල කමිටුවේ සෙසු සාමාජිකයින් විය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් “යහපාලන ටොප් ටෙන් - කම්බ හොරු” නමින් ග්‍රන්ථයක් 2019 මාර්තු 10දා කොළඹ දී ප්‍රකාශයට පත්කල අතර එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත පිරිනමනු ලැබිය.

යහපාලන ටොප් 10-කම්බ හොරු එළිදැක්වෙයි

 

''බැදුම්කර ‌හොරු අල්ලන්නේ නැතිව සිටියහොත් අපිත් කපොති''

මේ අතර පෙරේදා (05) පැවති උත්සවයකින් පසු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුයේ, බැදුම්කර ‌හොරු අල්ලන්නේ නැතිව සිටියහොත් අපටද සිදුවන්නේ ‌ගෙදර යාමට බවයි.

බැදුම්කර ‌හොරු-‌ටොප් ‌ටෙන් ‌හොරු අල්ලන්නේ නැතිව පොලිසිය අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද ඔහු එහිදී කියා සිටියේ, රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අනතුරුව ඔහු ඊයේ (06) මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මූලික වශයෙන් සිදුවූයේ ඔහු අධිකරණයට කළ බලපෑම් ගැන පැවැත්වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් බවයි.

"දුරකථන හඬ පට ඇතුළත් සීඩී තැටි අත්අඩංගුවට ගන්නයි රන්ජන් රාමනායකගේ ගෙදරට පොලීසිය ගියේ. මේ අපේ පොලීසියටත් මොලේ නෑ. පොලීසියත් ඉතින් යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. පොලීසිය ගියේ සීඩී එක අත්අඩංගුවට ගන්න නමුත් කෙහෙල්මල් පිස්තෝලයක් අල්ලගෙන මාධ්‍යයට පෙන්නුවා. දැන් රට හිතන්නේ බලපත්‍ර නැති තුවක්කුවක් නිසා රන්ජන් අත්අඩංගුවට ගත්තා කියලා. ඒක වැරදියි," ඔහු කියා සිටියේය.

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමේ බරපතල කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බව මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රන්ජන් රාමනායකගේ නිවසින් සොයාගත් හඬපට අතර යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ වංචා හා දුෂණ ක්‍රියා ඇතුලත් CD ද ඇතැයි වාර්තා වන අතර 'ටොප් ටෙන් හොරුන්ට' අදාල ක්‍රියාමාර්ග එම CD පට ඇසුරෙන් ආරම්භකිරීමට මහින්දානන්ද හා ගම්මන්පිල ප්‍රමුඛ කණ්ඩායම කටයුතු කරමින් සිටියි.

 

''අල්ලස් කොමිසම සුව නින්දෙන් අවදි වෙලා'' -ගම්මන්පිල

Gammanpilaමේ අතර ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ, තුන් වසරකට පසුව අල්ලස් කොමිසම සුව නින්දෙන් අවදිවී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ රජයට මිලියන ගණනක් පාඩු කරමින් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අදාලව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත දක්වමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

''පසුගිය ආණ්ඩුවේ ප්‍රධානතම වංචා-දූෂණ දහයක් පිළිබඳව එදා අප අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි කළා. ඒ දූෂණ 10 තමයි අප top 10 විදියට හඳුන්වලා පොතක් විදිහට මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කළේ. මම අල්ලස් කොමිසමට පැමිණිල්ල සිදු කළේ 2017 පෙබරවාරි 15 වෙනිදා වුවත් ඒ පිළිබඳව මීක් කියලා ශබ්දයක්වත් තිබුනේ නෑ.

තුන් වසරකට පසුව අල්ලස් කොමිසම සුව නින්දෙන් අවදි වෙලා. හිටපු ඇමැතිවරයකුගේ දූෂණයක් පිළිබඳව මා කළ පැමිණිල්ල විමර්ශනය කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා.

මේ වංචා-දූෂණ 10 පිළිබඳවම කඩිනමින් කටයුතු කරාවි කියලා අප බලාපොරොත්තු වෙනවා. හොඳට විවේක ගත්තා දැන් ඇති. දැන් වැඩේට බැහැලා තිබීම ගැන අප අල්ලස් කොමිසම ගැන සතුටු වෙනවා. මෙය කාර්යක්ෂමව සිදු වෙනවද කියන එක ගැන අප විමසිල්ලෙන් බලා සිටින බව අප රටටත් විශේෂයෙන්ම අල්ලස් කොමිසමටත් ප්‍රකාශ කරනවා.''

'ටොප් ටෙන්' දුෂකයින් ගැන චෝදනා ඇතුලත් පැමිණිලි ඉදිරිපත් කර තිබියදී ඒවා යට ගැසුවේ අල්ලස් හෝ දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් විසින් බවට ඒකාබද්ධ විපක්ෂය එකල චෝදනා කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්