වෙළෙඳපොළේ පවතින සහල් හිඟය සැබෑවටම පවතින්නේ නොව, කෘත්‍රිමව මවන ලද්දක් බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.
දේශීය සහල් සැපයුම සහ මුළු ගෘහස්ත සහල් ඉල්ලුම පිළිබඳව 2014 සිට 2018 දක්වා සංඛ්‍යා දත්ත අධ්‍යයනයේදීද මේ බව පැහැදිලි වේ.
2017 වසරේ පමණක් දේශීය සහල් සැපයුමට වඩා මුළු ගෘහස්ත සහල් ඉල්ලුම ඉහළ ගොස් ඇති නමුදු එම වසරේ සමස්ත සහල් සැපයුම දේශීය ආනයනික සහ ගෘහස්ත සහල් ඉල්ලුමට වඩා වැඩි අගයක පවත්වාගෙන ඇත.
2018 වසරේ දේශීය සහල් සැපයුම මෙට්‍රික් ටොන් මිලියන 2.5කි. එම වසරේ මුළු ගෘහස්ත සහල් ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර එම වසරේ සමස්ත සහල් සැපයුම මෙට්‍රික් ටොන් මිලියන 2.8කි.
එසේම එම වසරේ නිෂ්පාදිත සහල් ප්‍රමාණය, මාස දහතුනක රටේ ගෘහස්ත සහල් අවශ්‍යතාවට ප්‍රමාණවත් වේ.
එසේම 2018 වසරේ මෙරටට ආනයනය කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 248,901ක් වන අතර ඒ සඳහා ඇ.ඩො. මිලියන 106.8 මුදලක් වැය කර ඇත.
ඒ අනුව එක් හාල් කිලෝග්‍රෑමයක් ආනයනය සඳහා වැයකර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් 65කි. ඒ අනුව සහල් හිඟයක් පවතින්නේ නම් අඩු මිලට සහල් ආනයනය කර හිඟය හා සහල් මිල පාලනය කළ හැකිය.
අප මේ පිළිබඳව කළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ පසුගිය වසරේ වී නිෂ්පාදනයට සාපේක්ෂව, සහල් නිෂ්පාදනය ගණනය කළ විට සහල් හිඟයක් කිසිසේත්ම පැවතිය නොහැකි බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බවයි.
සහල් මාෆියාවේ ඉහළින්ම ඉන්න කෙනා ?
කෙසේ වෙතත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන තමා සහල් මාෆියාවට සම්බන්ධ නොමැති බවත්, ඊට තමා සම්බන්ධ නම් තමාගේ වී මෝල නිසි වටිනාකමක් ගෙවා රජයට පවරා ගන්නා ලෙසත් කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ “ඔය නම කීව කෙනා මේ මාෆියාවේ ඉහළින්ම ඉන්නවා” යනුවෙනි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියනුයේ සිය රජය විසින් පවත්වාගෙන ආ ‘ශක්ති’ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩාකප්පල් කිරිම හේතුවෙන් වර්තමානයේ සහල් මාෆියාව නැවත හිස ඔසවා ඇති බවත්, තම රජය අවසාන කාලයේ වී අලෙවි මණ්ඩලය සතුව රජයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් හතළිස් දහසක් තිබූ බවත්, නව රජය බලයට පත් විගසම එම වී කුණු කොල්ලයට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට විකුණා දැමූ බවත්ය.
කෙසේ වෙතත් තම රජය එම සහල් ප්‍රමාණය නිදහස් කළේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට නොව කුඩා හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට බව අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේය.
ගොවියා ශක්තිමත් නොකළ බවට චෝදනා !
එසේම පොළොන්නරුව-කවුඩුල්ලෙ ප්රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති ජයතිස්ස පැවසුවේ මෙම සහල් හිඟය සහල් මාෆියාව නිසා සිදුව ඇති බවත්, ඊට පැවති රජයත්, රාජ්‍ය බැංකු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියල්ලන්ම සම්බන්ධ බවත්ය.
රාජ්‍ය බැංකු වුවද අඩු පොලියට ණය ලබාදී මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ශක්තිමත් කළා මිස ගොවියා ශක්තිමත් නොකළ බවද ඔහු වැඩිදුරටත් කීය.
මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර මෙම ව්‍යාජ සහල් හිඟය හේතුවෙන් රජයට සහල් මිල සඳහා පාලන මිලක් නියම කර පසුගිය දහනව වැනිදා ගැසට් පත්‍රයක් පවා නිකුත් කිරීමට සිදුවිය.
ඒ අනුව වාෂ්පෙන් තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස නියම කෙරිණි. එහෙත් ඊට අනෙකුත් සහල් වර්ග අයත් නොවූ බැවින් එම සියලුම සහල්වල මිල රුපියල් 110කට වඩා වැඩී වී ඇත. ■
(රසික ගුණවර්ධන - රාවය )
සබැඳි පුවත් :
සහල්, එළවළු මිල ඉහළ යද්දී ජනපතිගේ ආර්ථික සැලසුම් කොට උඩ!
සහල් මාෆියාව ගැන ජවිපෙන් ජනපතිට ඔත්තුවක් (වීඩියෝ)
සහල් මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් මෙන්න !
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අල්ලන්න පොලිස් මෙහෙයුමක්! - සහල් මෝල්වලටත් කඩා පැනීමට යයි!!