ජයලත් මනෝරත්න කලාකරුවා අද උදැසන තම දිවි සැරිය නිමා කළ බව සංවේගයෙන් දැනුම් දෙමු. පසුගිය මාස කිහිපයෙහි රෝගාතුරුව සිටි හෙතෙම මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මෙරට ප්‍රේක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙකි. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඔහු මේ දක්වා චිත්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී ඇත.

හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න සිය රංග ප්‍රතිභාව විදහා දැක්වූ ජනප්‍රිය චිත්‍රපටවලින් කිහිපයකි.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න සිය රංග දායකත්වය ලබාදී ඇත.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේය.

ජයලත් මනෝරත්න රගපෑ වේදිකා නාට්‍ය 37කට අධිකය. බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු සිය රංගන දායකත්වය ලබාදුන් ජනප්‍රිය  වේදිකා නාට්‍ය කිහිපයකි.

සිය රංග ප්‍රතිභාව වෙනුවෙන් ජයලත් මනෝරත්න ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබිය.

2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න සමත් විය.

 2002 සුමතිසම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමිවන්නේද ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නටයි. 

වසර 49 ක් ශ්‍රී ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්වීම නොඅනුමානය.  

 

        

( ගුරු තරුව වේදිකා නාට්‍යය.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්