එතනෝල් ආනයනය ජනවාරි මස 01 වැනිදා සිට මුදල් අමාත්‍යාංශය අත්හිටුවනු ලැබීය. ඒ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයක් අනුවය. මෙම තහනම පැනවුයේ මත්පැන් නිශ්පාදනය සඳහා ආනයනය කරන එතනෝල් සඳහා පමණය. වෙනත් කාර්මික අවශ්‍යතා සඳහා ආනයනය කරන එතනෝල් අත්හිටුවූයේ නැත.
දේශීය වශයෙන් නිශ්පාදනය කරන එතනෝල් බහුල වීම මෙම අත්හිටුවීමට හේතුව බවද මුදල් අමාත්‍යාංශය කීවේය. එසේම එතනෝල් ආනයනය අත්හිටුවීම කොතෙක් කාලයකට යන්නද තවම නිශ්චිතව කියා නැත.
මුදල් අමාත්‍යාංශයේ මෙම තීරණයට අදාළ වෙනස් පැහැදිළි කිරීම් නැත. දේශීය වශයෙන් එතනෝල් වැඩිපුර නිශ්පාදනය කර ඇත්නම් ඒ කොතරම් ප්‍රමාණයක්ද, ඒවා නිශ්පාදනය කරනු ලැබූ ආයතන කවරේද, එම නිශ්පාදන ඔවුන් සිදුකරේ කිනම් වර්ශයේද, මෙසේ වැඩිපුර නිශ්පාදනය කර ඇති එතනෝල් රටේ මත්පැන් නිශ්පාදනයේ මාස හෝ වසර කීයක කාලයකට සෑහේද යන්න මුදල් අමාත්‍යාංශය පැහැදිළි කළේ නම් එම ආනයනය අත්හිටුවීමේ තීරණය පිළිබඳව හරි අවබෝධයක් ලබා ගත හැකිව තිබුණි.
එහෙත් එවැනි පැහැදිළි කිරීමක් නොමැති නිසා මෙම ආනයනය අත්හිටුවීමේ තීරණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට අපට යොමු වන්නට සිදුවන්නේ සුරා බදු දේපාර්තුමේන්තුවේ සංඛ්‍යා දත්ත වෙතය. ඒ මගින් එම එතනෝල් ආනයන අත්හිටුවීම ඒ සඳහා කී දේශීය වශයෙන් ව්‍යාප්ත වීම යන කරුණට ගැලපේද යන්න අපට වටහා ගත හැකිය.
මත්පැන් සඳහා ආනයනය:
සුරාබදු දේපාර්තුමේන්තුවේ 2018 වසරට අදාල වාර්ෂික වාර්තාව අනුව මත්පැන් නිශ්පාදනය සඳහා එතනොල් ආනයනය කරන මත්පැන් නිශ්පාදන සමාගම් 5ක් තිබි ඇත.
ඒ, ඩිස්ටලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, අයි.ඩී. එල්. ලංකා , ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, පෙරිසිල් පුද්ගලික සමාගම හා රොක්ලන්ඩ් ඩිස්ටරීස් සමාගමය.
මත්පැන් නිශ්පාදන සඳහා බලපත්‍ර ලබාදී ඇති සමාගම් 23න් ඉතිරි සමාගම් 18ම දේශීය වශයෙන් නිශ්පාදිත එතනෝල් සිය නිශ්පාදනයන් සඳහා යෝදාගෙන ඇති බව ඒ අනුව පෙනේ.
එතනෝල් නිශ්පාදනය
එම වාර්තාව අනුව 2018 වර්ෂයේ මත්පැන් සඳහා යොදා ගන්නා පරිපාක ස්ප්‍රිතු දේශීය වශයෙන් නිශ්පාදනය කර ඇත්තේ පැළවත්ත, සෙවණඟල, හිඟුරණ හා ගල් ඔය යන උක් වගා කරන සමාගම් හා සකේ නිශ්පාදනයට අවශ්‍ය ස්ප්‍රිතූ නිශ්පාදනය කළ රෝයල් කාස්ක් සමාගම පමණය.
මේ සියලු සමාගම් එම වර්ශයේ නිශ්පාදනය කර ඇති ස්ප්‍රිතු ප්‍රමාණය දළ වශයෙන් තොග ලීටර් මිලියන 11,928ක්ය. ඉන් නිකුත් කර ඇති ප්‍රමාණය දළ වශයෙන් තොග ලීටර් 10,740ක්ය.
එම නිකුත් කර ප්‍රමාණයෙනුත් මත්පැන් නිශ්පාදනය නොවෙන කටයුතු සඳහා නිකුත් කර ඇති ප්‍රමාණය දළ වශයෙන් තොග ලීටර් මිලියන 864ක්ය.
එසේ වෙද්දී ඉහත සඳහන් කර ආනයනික සමාගම් 5 දළ වශයෙන් එතනෝල් තොග ලීටර් මිලියන 13,444ක් ආනයනය කර ඇත. එහි තේරුම වන්නේ දේශිය එතනෝල් නිශ්පාදනයට වඩා වැඩි ප්රමාණ්යක් මත්පැන් නිශ්පාදනයේ යෙදෙන එම ප්‍රධාන සමාගම් ආනයනය කරමින් සිටින බවයි.
මේ තත්වය තව දුරටත් පැහැදිළි කර ගැනීම සඳහා සුරාබදු දේපාර්තුමේන්තුවේ ඊට පෙර වසරක දත්ත හා සංඛ්‍යා වෙත අපිට පිවිසිය හැකිය.
ඒ 2016 වර්ශයේ වාර්ෂික වාර්තාව අනුව ( 2017 වාර්ෂික වාර්තාව විවෘත නොවේ.) දේශීය වශයෙන් පරිපාක ස්ප්‍රිතූ නිශ්පාදනය කර ඇත්තේ දළ වශයෙන් තොග ලීටර් මිලියන 12,137ක් පමණය. ඉන් මත්පැන් නිශ්පාදනය සඳහා තොග ලීටර් මිලියන 10860 දළ වශයෙන් නිකුත් කර තිබේ.
එම වසරේ සමාගම් 6ක් මත්පැන් නිශ්පාදනය සඳහා එතනෝල් තොග ලීටර් මිලියන 18,431 දළ වශයෙන් ආනයනය කර ඇත. පෙර සඳහන් ආනයන සමාගම් වලට අමතරව වී. ඒ . ඩිස්ටරලීස් සමාගමද එම වසරේ ආනයනයට සම්බන්ධ වී ඇත.
මේ අනුව පෙනී යන්නේ දේශීය වශයෙන් එතනෝල් නිශ්පාදනය සමාන්‍ය ලෙස එකම ප්‍රමාණයක සිඳුවි ඇති බවය. එහි අසාමාන්‍ය වැඩි විමක් දක්ණයට නොලැබෙන බවය.
මහ බැංකු වාර්තාව
එය තවදරටත් අපට පැහැදිලි කර ගත හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ශීක වාර්තාවේ ඇති සීනි නිශ්පාදනයට සම්බන්ධ කරුණු තෙරුම් ගැනීමෙනි.
මන්ද දේශීය වශයෙන් මත්පැන් නිශ්පාදනයට අදාල පරිපාක ස්ප්‍රිතූ නිපදවන්නේ මේ සීනි නිශ්පාදන සමාගම් නිසාය . (රෝයල් කාස්ට් සමාගම නිශ්පාදනය කරන ස්ප්‍රිතු වලින් නිපදවන්නේ සකේ පමණය).
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වර්ෂයට අදාල වාර්ෂීක වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනයේ ඵලදායිතාව අඩුවී ඇත. 2018 වසරේ උක් ටොන් 720,259ක් අඹරන විට 2017 වර්ෂයේ උක් ටොන් 746,607 ක් අඹරා ඇත. රටේ මුළු සීනි අවශ්‍යතාවයෙන් 2018 වර්ෂයේදී සැපීරී ඇත්තේ සීයට 9ක් පමණයි. 2017 වර්ෂයේදී සීයට 10ක් සැපීරි ඇත.
ඒ නිසාම 2017 හා 2018 වර්ෂවලදී වෙනදා මෙන්ම රටේ ඉතිරි සීයට 90ක පමණ සීනි අවශ්‍යතාවය ආනයනය කර ඇත.
සීනි නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් නොමැතිව සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස නිෂ්පාදනය කරන ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩිවිය නොහැකි බව ඒ අනුව පැහැදිළිය.
කරුණු එසේ නිසා දේශීය වශයෙන් එතනෝල් ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩිවී ඇති බවට හෙවත් ආනයනික අවශ්‍යතාවය සැපිරීමට හැකි ලෙස දේශීය නිෂ්පාදනය වර්ධනය වී ඇති බවට තේරුම් ගත නොහැකිය. දැන් ප්රශ්නය පැන නගින්නේ දේශීය එතනෝල් නිෂ්පාදනයට රටේ මත්පැන් නිෂ්පාදනය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නැත්නම් එම අවශ්‍යතාවය සපුරාගත හැකිද යන්නය.
මත්පැන් නොවන එතනෝල්
මත්පැන් නිෂ්පාදනය නොවන කටයුතු සඳහා 2018 වර්ෂයේදී සුරාබදු දේපාර්තුමේන්තුව ආයතන 36ක් සඳහා බලපත්‍ර ලබාදී තිබේ. එම ආයතන අතර ඖෂධ නිෂ්පාදන ආයතන, රූපලාවණ්‍ය කටයුතුවලට අදාල නිෂ්පාදන සිදුකරන ආයතන, පර්යේෂණ ආයතන හා වෙනත් නිෂ්පාදන කටයුතු සිදුකරන ආයතන තිබේ.
මේ නිල ආනයනකරුවන් ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ආනයනය පර්යේෂණ ආයතන කරන්නේ සුළු ප්‍රමාණයන්ය. පර්යේෂණ ආයතන ගෙන්වන එතනෝල් වර්ග ඉතා මිල අධික ඒවාය.
සුරාබදු දෙපාර්තුමේන්තුව මත්පැන් නිෂ්පාදනය හෝ මත්පැන් නිෂ්පාදනය නොවන කටයුතු සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ ඔවුන්ට පමණය.
විෂයභාර ඇමති
එහෙත් විෂයභාර අමාත්‍යවරයාට සුරාබදු දෙපාර්තුමේන්තුව මඟහැර එතනෝල් ආනයන බලපත්‍ර ලබාදීමේ හැකියාවද ඇත. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ සුරාබදු දෙපාර්තුමේන්තුවේ මේ පටිපාටියට පිටින් යමින් කර්මාන්තශාලා කටයුතු සඳහා යැයි කියමින් එතනෝල් ආනයන බලපත්‍ර කිහිපයක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව කළ විමර්ශණයකදී හෙළීවුණේ එම බලපත්‍රධාරීන් බොහෝ දෙනෙකු කර්මාන්තශාලා හිමියන් නොවන බවයි. සමහරුන්ට එදිනෙදා ජිවත් වීමට ප්‍රමාණවත් ආදායමක් පවා තිබී නැත. ඔවුන්ගේ නම්වලට එතනෝල් ආනයන බලපත්‍ර තිබෙන බවත් සමහරු දැන සිටි නැත. සමහරුන් ඒ ගැන දැන සිටියත් වෙන කවුරුන් හෝ එම ව්‍යාපාර කටයුතු සඳහා මුදල් යොදවා තිබී ඇත.
මෙතනෝල්
ඖෂධ නිශ්පාදනය නොවන, රූපලාවණ්‍ය නිෂ්පාදන නොවන, ආහාරමය නොවන හෝ මිනිස් ශරීරයට සෘජු සම්බන්ධයක් නැති නිෂ්පාදන කටයුතු සඳහා එතනෝල් ස්ප්‍රීතු අවශ්‍ය නැත. ඒ සඳහා මෙතනෝල් ස්ප්‍රීතු හොඳටම ප්රමාණවත්ය.
ලෝක වෙලඳසැල් මිල ගණන් සමග සැසඳු කළ එතනෝල් මිල මෙන් හතරෙන් එකකටත් වඩා මෙතනෝල් මිල අඩුය. ආනයනික බද්ද අඩුය. එසේ තිබියදීත් මෙතනෝල් වලින් කළ හැකි කටයුත්තක් සඳහා එතනෝල් ආනයනය කරනවානම් එම එතනෝල් මත්පැන් නිෂ්පාදනයට හොර පාරෙන් යන බවට කිසිදු සැකයක් නැත.
හොරෙන් එන එතනෝල්
අනෙක් පැත්තෙන් පසුගිය වසර කිහිපය පුරාම කිසිදු බලපත්‍රයක් නොමැතිව මහා පරිමාණයෙන් එතනෝල් රටට ගෙන්වා තිබියදී අල්ලා ගත් අවස්ථා කිහිපයක්ම වාර්තා විය. එසේ අල්ලා නොගත් එතනෝල් කොතරම් රටට එන්නට ඇත්දැයි දන්නේ ඒවා ගෙන්වු අය පමණයි.
රේගුව හරහා රටට එන සෑම කන්ටේනරයක්ම සම්පූර්ණ වශයෙන් සෝදිසියකට ලක් කිරීමක් සිදුවන්නේ නැත. සාමාන්‍ය සෝදිසිය යනු කන්ටේනරය විවෘත කර රේගු පත්‍රයේ ඇති භාණ්ඩ තිබෙනවාදැයි ඇසුරුමක් දෙකක් කඩා ඇස් මට්ටමෙන් පරීක්ෂා කිරීම පමණය. නිශේෂ සොදිසි කිරීම් සිදුවන්නේ යම් සැකයක් මත අහඹු ලෙසය.
මේ වන විට ඉවත් කර ඇති කොළඹ වරායේ ඇති ස්කෑන් යන්ත්‍ර වලට යොමු කිරිමේදී කන්ටේනරයක් තුළ ගබඩා කර ඇති භාණ්ඩත්, රේගු පත්‍රයේ ඇති භාණ්ඩ පිළිබඳව හොඳ අධ්‍යනයක් කළ හැකිය.
දැන් කොළඹ වරායට ස්කෑනර්ද නැති තත්වය තුළ රේගුවට හසු නොවී රට තුළට ආ හැකි භාණ්ඩ ප්‍රමාණය වැඩිය. ඒ අතර එතනෝල්ද තිබිය හැකිය. එම හොර එතනෝල්වලින් රටට බදු ආදායමක් එන්නේ නැත. එසේ වුවද හොර මත්පැන් නම් නිෂ්පාදනය විය හැකිය.
මත්පැන් නිශ්පාකයන්ට දේශීය වශයෙන් නිෂ්පාදිත එතනෝල් ප්‍රමාණවත් නැති කළ මේ හොර පාරෙන් එන එතනෝල්ද මිලදී ගන්නට සිදුවනු ඇත. එතනෝල් ආනයනය නැවැත්වීමෙන් පාර කපා ඇත්තේ එයටද?
(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)
සබැඳි පුවත් :
එතනෝල් ආනයනය අත්හිටුවීම: ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කළගුණ සැලකීමට ද?
මඩ නොගසා නිසි විමර්ශනයක් කරන්න - මංගලගෙන් මුදල් ඇමති මහින්දට අභියෝගයක් !