ගෝඨාභය - මහින්ද  ආණ්ඩුව දින සියයක් යන්නටත් කලින් අනාගෙන ඇතැයි නීතිඥ ලිහිණි ප්‍රනාන්දූ පවසන්නීය.

''ආණ්ඩුව බලයට පත් වෙලා මාස තුනයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත් වී මාස තුනක් කියන්නේ ජනප්‍රියතම කාලය. නමුත් වර්තමානයේ සිදුවෙන දේවල් දෙස බැලු විට මේ ගත වු දින සියය ඇතුලත ආණ්ඩුව අනාගෙනද කියා ලොකු චකිතියක් ඇති වෙනවා.'' යයි ඇය කියා සිටියි.

එම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ කරුණු ගෙන හැර දැක්විය.

 

පළවෙනි පොරොන්දුව MCC ගිවිසුම ගැන ....

''මේ ආණ්ඩුව බලයට පත් වන්නේ පොරොන්දු තුනක් ලබා දෙමින්. පළවෙනි පොරොන්දුව MCC ගිවිසුම. මේ ගිවිසුම රටට වින කරන ගිවිසුමක්, මේ හරහා රට තුල කොරිඩෝවක් ඇති වෙනවා, රුවන්වැලිසෑයට යනවනම් වීසා ගන්න ඕනේ කියා මිනිස්සු තුල ලොකු බියක් ඇති කරලා ආණ්ඩුව බලයට පත් වුනා.

මේ MCC ගිවිසුම අහෝසි කරන්නවත්, ඒක මේ රටට අහිතකරයි කියලවත් අද වෙනතුරු ආණ්ඩුව ප්‍රකාශයක්වත් නිකුත් කර නැහැ. මොවුන් කරන්නේ අද MCC ගිවිසුමේ ඇති කොන්දේසි එහාට මෙහාට කර ඒක අත්සන් කරන්නේ කොහොමද? යන්න කල්පනා කිරීමයි.

 

දෙවැනි කරුණ පාස්කු ප්‍රහාරය ගැන ....

දෙවැනි කරුණ වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවුවන්ට දඬුවම් ලබා දෙන බව පැවසිමයි. රටේ ජාතික ආරක්ෂාව පිලිබඳ ඉතා ව්‍යාකූල තත්ත්වයක් ඇති කර ජනතාව පිලිබඳ බියක් ඇති කර පාස්කු ප්‍රහාරය තුලින් මේ රජය බලයට පත් වුනා.

අද වෙනතුරු මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැහැ. රටේ පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ රටේ ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා අද පොදුජන පෙරමුණේ සභාපති. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්.

මේ යන විදිහට මේ ආණ්ඩුව කවදාවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නේවත් ඒකේ වගකිවයුත්තන් නීතිය ඉදිරියටවත් ගේන්නේ නැහැ.

 

තෙවැනි කරුණ මහ බැංකු වංචාව ගැන ...

මේ ආණ්ඩුව බලයට පත් වු තෙවැනි කරුණ වන්නේ මහ බැංකු වංචාව ගැන සඳහන් කරමින්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එනම් සෞභාග්‍යයේ දැක්මෙහි 07 වෙනි පිටුවේ ඇත්තේ බැඳුම්කරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට නොපමාව කටයුතු කරන බව අවධාරණය කර තියනවා.

එහි දුෂණය පරදන ලංකාව කියලා එහි කොටසකුත් තියනවා. එහි කියන්නේ මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන බව. නමුත් අද වෙනතුරු ඒ ගැන කිසිදු කටයුත්තක් සිදුව නැහැ.

''වෝහාරික විගණන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි මන්ද? යන්න අප ප්‍රශ්න කළ යුතුයි. ඇයි මේකට නීතිය ක්‍රියාත්මක කිරිමට නොහැකි කියා විමසිය යුතුයි. නීතිය සැමටම සමාන විය යුතුයි. කුමන හෝ රජයක් වේවා වැරදි නම් වැරදියි.''

මේ අතරතුර වෝහාරික විගණන වාර්තාව එළි දක්වනවා. මේ වාර්තාවේ එළි දැක්වෙන්නේ 2005 සිට 2015 කාලය තුලදි මීට වඩා බැඳුම්කර වංචාවක් ඔවුන්ගේ රජයේ සිදු වි ඇති බව. එහි පාඩුව බිලියන 10 කටත් අධිකයි. එපමණක් නොව අද වෙනතුරු එවකට සිටි මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන තිබෙනවාද කියා මා අසන්නට කැමතියි. එහෙම දෙයක් සිදු කර නැහැ.

එසේ තිබියදි මොවුන් මෙය සාධාරණිකරණය කිරිමට විවිධ වු මාධ්‍ය සාකච්ඡා තියමින් ඊට විවිධ වු අර්ථකථන දෙමින් සිටිනවා.

මේ වෝහාරික විගණන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි මන්ද? යන්න අප ප්‍රශ්න කළ යුතුයි. ඇයි මේකට නීතිය ක්‍රියාත්මක කිරිමට නොහැකි කියා විමසිය යුතුයි. නීතිය සැමටම සමාන විය යුතුයි. කුමන හෝ රජයක් වේවා වැරදි නම් වැරදියි.

 

අද බඩු මිල අහස උසට ගිහින් !

අද බඩු මිල ගැන කථා කරන්නේ නම් ලොකු  ලුණු කිලෝවක් රුපියල් තුන්සිය ඉක්මවා ගිහින්. රතු ලුණු කිලෝවක් රුපියල් 600 කට වැඩියි. බඩු මිල දිනෙන් දින වැඩි වෙනවා. මේවාට විසඳුම් දිමට මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් වු තවත් කරුණක් වන්නේ සුදුසු පුද්ගලයින් සුදුසු තැන් වලට පත් කරන බව පැවසිමයි. නමුත් අප අද දකින්නේ සුදුසු පුද්ගලයින්ද සුදුසු තැන් වලට පත් කරන්නේද? යන්නය. ඊට හොඳම උදාහරණය වන්නේ පහුගියදා පත් කෙරුණු මාලදිවයිනේ තානාපතිධුරයය. එපමණක් නොව පවුලේ අයටද තනතුරු ලබා දිම සිදු කරනු ලබයි. මෙය තනිකරම ජනතාව මුලාව දැමිමක්.

 

ගෝඨාභයගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කුණු කූඩයට !

මේ වන විට වියතුන්ව පාර්ලිමේනතුවට ගෙන ආ යුතු බවට කථිකාවතක් එක පැත්තකින් යන විට ආණ්ඩුවේ ම සමහර මන්ත්‍රීවරුන් පවසන්නේ, වියතුන් පමණක් නොව දේශපාලනයේ අත්දැකීම් ඇති පුද්ගලයින් ගෙන ආ යුතුයි කියලා. වියතුන්ට මේ තැන දිය යුතු නැහැ කියලයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ සෞභාග්‍යයේ රට කියා එළිදැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශය මොවුන් දැන් කුණු කූඩයට ඇද දමා තියනවා.

ආණ්ඩුව මේ මාස තුන තුල ජීවන වියදම පාලනය කළ බවට සඳහන් වන්නේ සියයට දා හතයි. මේ ආණ්ඩුව හොඳයි කියන්නේ සියයට හතලිස් හතරක පමණ කොටසක්. ආර්ථික ප්‍රතිපත්ති හොඳයි කියන්නේ සියයට දහනවයක්. පුද්ගලයින්ව හරිතැනට පත් කර ඇති බව කියන්නේ සියයට තිහක්. මෙය සමස්ථයක් ලෙස ගතහොත් ආණ්ඩුවේ ප්‍රසාදය සියයට පනහක්වත් නැහැ.

මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු රැසක් දි බලයට පැමිණියා. නමුත් ඒ පොරොන්දු විශ්වාසභංගත්වයට පත්ව තියනවා. එමෙන්ම අගමැති සහ ජනාධිපති අතර ඝට්ටනයන්ද අප දකිනවා. ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් හොඳින්ම පෙනවා.  මේ තත්ත්වය තවත් ඉදිරියට පැවතුණහොත් රට ව්‍යාකූල තත්ත්වයකට පත් විම වැලැක්විය නොහැකි බව මගේ අදහසයි.''

(උපුටා ගැනීම : aithiya.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්