ශ්‍රී ලංකාව පරිපාලනමය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවාද? යන්න ට්විටර් සටහනක් තබමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ප්‍රශ්න කර සිටියි.
''රටේ ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඊට අමතරව ආරක්ෂක ලේකම්වරයා, කොළඹ වරාය, ගුවන් තොටුපල ප්‍රධානින් ලෙස පත් කර සිටින්නේ හිටපු හමුදා ප්‍රධානින්. මිට අමතරව රැකියා ලක්ෂය ලබාදීම, වී මිලදී ගැනීම් සහ රථ වාහන පාලනය සඳහා පත්කර ඇත්තේද හමුදාවයි. සාමාන්‍ය තත්වයක් තුල රටක දෛනික සිවිල් කටයුතු මෙහෙයවීම සඳහා හමුදා භාවිතා කරන රටක් ගැන මින් පෙර අසා තිබෙනවද?
විනය යැයි අප පවසන විට මූල්‍ය, සම්පත් කළමනාකරණය සහ ආයතන ගොඩනැඟීමේ සිවිල් පරිපාලකයින්ට වඩා හමුදා නිලධාරීන් වඩා හොඳ බව අපට තහවුරු කිරීමට නිශ්චිත කරුණු තිබෙනවාද?
සාමාන්‍යයෙන් වඩාත්ම දූෂිත හා අතිශයින් අසාර්ථක රාජ්‍යයන්ගෙන් බහුතරය මා දන්නා පරිදි හමුදා පාලන තන්ත්‍රයන් වූ බව ප්‍රකාශ කර සිටින ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක, උදාහරණ ලෙස අප්‍රිකාව, මින්මාර් වැනි රටවල් ඊට නිදසුන් ලෙස ඉදිරිපත් කරයි.
සිවිල් පරිපාලනය සඳහා හමුදා සහය ලබා ගත් පාකිස්තානය, ඊජිප්තුව වැනි රටවල්ද අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙහිදී සඳහන් කර සිටියි.
ට්‍රැෆික් පොලිස් රාජකාරිය බාර ගත් මිල්ටරිය !
ට්‍රැෆික් පොලිස් රාජකාරිය බාර ගත් මිල්ටරි පොලිසිය
මේ අතර රථ වාහන රාජකාරී සඳහා යුද හමුදා පොලීසිය යෙදවීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර මෙන්ම විවේචනාත්මක අදහස් ද පලවෙමින් තිබේ.
ඒ අතර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවද එක් කිරීමට රජය තීරණය කර ඇත.
මේ වනවිට රථ වාහන හැසිරවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 150 ටක ආසන්න පිරිසක් යොදවා ඇති බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
පෑලියගොඩ, වැල්ලවත්ත, පාර්ලිමේන්තුව අවට මාර්ග, නුගේගොඩ අවට මාර්ග ඇතුළු මාර්ග රැසක යුද හමුදා නිලධාරීන් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා යොදවා ඇති බවද ඔහු මෙහිදී පැවසිය.
මේ වනවිට නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද ඒ සදහා යොදවා ඇති බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා කියාසිටියේය.
ඉදිරියේදී රථ වාහන හැසිරවීම සඳහා තවත් ත්‍රීවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටද අවධානය යොමුවී ඇත.
හමුදාව යොදවන හේතුව පැහැදිළි කරයි :
එමෙන්ම රථ වාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් සහ ජංගම රථද කොළඹ විවිධ ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වනවිට කොළඹ අවට උදෑසන සහ පස්වරුවේ පවතින අධික රථ වාහන තදබදය ජනතාවගේ දෛනික කටයුතු සඳහා ආපදාවක් බවට පත්ව ඇති බව ද ඔහු පැවසිය.
රථ වාහන තදබදය හේතුවෙන් ජනතාවට මෙන්ම උදෑසන පාසල් යන දරුවන්ද දැඩි පීඩාවට පත් වන අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි රථ වාහන තදබදය හේතුවෙන් ජනතාවට වැඩි කාලයක් මහමඟ කාලය ගෙවා දැමීමට සිදුවන බව පැවසු යුධ හමුදාපතිවරයා,එසේම, රථ වාහනවලින් පිටවන අධික දුමාරය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑම් එල්ල වී ඇති බවද කියා සිටියේය.
පාසල් දරුවන්ටද මෙය යෝග්‍ය නොවන බැවින් රථ වාහන තදබදය ආපදාවක් ලෙස සලකා එය අවම කිරීමට යුද, ගුවන් සහ නාවික හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කළ බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සදහන් කළේය.
නීති විරෝධී වැඩක් - එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි
කෙසේවුවද, එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසන්නේ, පොලිස් සහ යුද හමුදා ආඥා පනත් අනුව රථ වාහන රාජකාරී සඳහා යුද හමුදා පොලීසිය යෙදවීමේ හැකියාවක් නොහැකි බවත්, එසේ යෙදවීම නීති විරෝධී බවත්ය.
පොලිස් සේවා සඳහා යුද හමුදාව යොදා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කර එම රාජකාරී ඔවුන්ට පැවරීමක් කළ යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ විපක්‍ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොලිස් ආඥා පනත යටතේ ඇති රෙගුලාසි අනුව යුද හමුදා පොලීසියට සිවිල් ජනතාව සම්බන්ධ රථවාහන වැරදි හෝ වෙනත් වැරදි සම්බන්ධ රාජකාරී කිරීමේ හැකියාවක් නැතැයි ද රටේ නීතිය ගැන නොතකා යුද හමුදා පොලීසිය පොලිස් සේවාවන්හි යෙදවීම පොලිස් නිලධාරීන්ගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.
හමුදා පොලීසිය හා සාමාන්‍ය පොලීසියේ සේවා පථය වෙනස් බව කී මන්ත්‍රීවරයා හිතුවක්කාරී අයුරින් ඔවුන්ගේ රාජකාරී වෙනස් කළ නොහැකි බව ද කීවේය.
එසේ කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍යය යටපත් වන බව කී අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ ජනාධිපතිවරයාට ඉහළින් බැවින් ජනාධිපතිවරයා නීතිය අනුව කටයුතු කළ යුතු බව ද අවධාරණය කර සිටියේය.
''ආර්මි එකත් එක්ක පට්ට ඇරියස් එකක්'' -Nuwan Nirodha
මේ අතර මිලිටරි පොලිසියේ නිලධාරීන් රථ වාහන රාජකාරී සඳහා යොදවා තිබීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරික නුවන් නිරෝධ මෙසේ පවසයි.
''උඹලා මොනවා කිව්වත් මටනම් හිතෙන්නෙම රාජපක්ෂ සනුහරේටම ආර්මි එකත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2008 ඉදන් 2015 වෙනකම් ආර්මි එකේ කොල්ලන්ට කියලා වැලි ඇද්දුවා, බිල්ඩින් හැදෙව්වා, බල්ලෝ නෑවෙව්වා, තව කියන්න ගියොත් ලිස්ට් එක දිගවෙනවා.
ඔන්න දැන් ආපහු කොල්ලෝ ටික පාරට බස්සලා අව්වේ කර කරවනවා. ට්‍රැෆික් එක කොන්ට්‍රෝල් කරන එක පොලීසියේ වැඩක්. තම වෘත්තීය ගරුත්වය රැකගෙන රට ආරක්ෂා කරන එක ආර්මි එකේ වැඩක්. කෝ මුන්ට ඒකවත් තේරෙන්නේ නැහැනේ''