දිවයින පුරා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය නිසා හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, ස්වසන රෝගීන් ඇතුළු විවිධ රෝගාබාධ වැළඳුන රෝගීන් මහත් අපහසුතාවට පත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

කොළඹ ජාතික රෝහල, අපේක්ෂා රෝහල ඇතුළුව දිවයින පුරා රෝහල්වල සති දෙකකට ආසන්න කාලයක් මෙම ඖෂධ හිඟය පැවතීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයට පත්වි සිටින බවද දැනගන්නට තිබේ.

හෘදයාබාධ වැළඳුන මුත් හදිසියේ රෝහල් ගතවූ විට ඔවුන්ට ලබාදෙන ප්‍රථම ඖෂධය වන්නේ ඇස්ප්‍රීන් බවත් එනිසා ඇස්ප්‍රීන් හිඟයක් ඇතිවීම හෘද රෝගින්ගේ ජීවිත කෙරෙහි ඍජුවම බලපාන්නක් බවත් වෛද්‍යවරුන්ගේ මතය වේ.

ශ්‍රී ලංකාවේ සිදුවන හදිසි මරණ අතරින් හෘදයාබාධ නිසා ඇතිවන මරණ සංඛ්‍යාවද ඉහළ අගයක් පවතින බැවින් ඇස්ප්‍රීන් හිඟය එකී තත්ත්වය දරුණු වීමට හේතුවිය හැකිද ඔවුහු පවසති.

එසේම දියවැඩියා රෝගින්ට ලබාදෙන මෙට්ෆෝමින් ( METFORMIN) රුධිර පීඩනය සඳහා ලබාදෙන ලොසාර්ටන් පොටෑසියම් ( LOSARTEN POTASSIUM) හා ඉන්සියුලින් වර්ග විශාල සංඛ්‍යාවකද හිඟයක් පවතින බැවින් මෙම රෝග සඳහා සායනවලට පැමිණෙන රෝගීහුද දැඩි අර්බුදයකට ලක්ව සිටිති.

මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍යවන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 9ක් හිඟ බවත් මහනුවර ශික්ෂණ රෝහලේ ස්වසන රෝගින්ට ලබාදෙන ඖෂධ වර්ග කීපයක් ඇත්තේම නැති බවත් දැනගන්නට තිබේ.


ඖෂධ සමාගම්වලට ගෙවීමට ඇති මුදල රු.මිලියන 25,696 කි:


ඖෂධ වර්ග 300ක් පමණ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 600ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළ පරිදි රජය ඖෂධ මිලටගන්නා සමාගම් වලට මේ වන විට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 25,696 කි. 

මේ තත්ත්වය තුළ කෝටි 600 ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත්ද යන්න සේම ණය නොගෙවා නැවත එම සමාගම් වලින් ඖෂධ ලබාගැනීමේ ගැටලුවක්ද පවතින බව තතුදත් අය කියති.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වසර 2016 දත්ත අනුව රටේ සමස්ත ජනගහනයෙන් 2.2% ක් හෘද රෝගීන් බවද 8.2% ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන ද කියවේ. මොවුන්ගෙන් අති බහුතරයක් රජයේ රෝහල්වලින් බෙහෙත් ලබාගන්නවුන් වේ.

සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් මේ ගැන විමසුවිට පැවසුවේ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති රුපියල් කෝටි 600 යොදවා ඖෂධ වර්ග 300ක් පමණ සපයා ගැන්මට හැකිවන බවය.

කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චිගෙන් මේ ගැන විමසීමට කීපවරක් උත්සහ කළද එය ව්‍යවර්ථ විය. ■


(රාවය - රසික ගුණවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්