එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉක්මනින් ඇති කළ යුතු බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාව දේශීය වශයෙන් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි සම්මත කරගත් 30/1 යෝජනාව හා 40/1 යෝජනාව ක්‍රියාත්මක නොකරන බව ප්‍රකාශ කිරීම නිසා එම සංවිධානය ජාත්‍යන්තර ක්‍රියාවලියක් යෝජනා කර තිබේ.

ඊට අමතරව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදුන් ජීඑස්පී ප්ලස් සහනය පිළිබඳව සිහිපත් කළ යුතු බවද එම නිවේදනයෙහි සඳහන්ය. 

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලින් මානම හිමිකම් ක්‍රියාකාරිකයන් හා මාධ්‍යවේදීන් නිරීක්ෂණය කිරීම, හිංසනයට ලක් කිරීම හා තර්ජනය කිරීම වැනි ක්‍රියාකාරකම් ගැන වාර්තා වී ඇතැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලිගේ අදහස් උපුටා දක්වමින් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මනව හිමිකම් ක්‍රියාකාරීන් 15 දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මීනාක්ෂි ගංගුලි මහත්මිය එම කරුණු සඳහන් කර තිබේ.

බිය වර්ධනය වී ඇති බව !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන්ට හා ක්‍රියාකාරිකයන්ට රාජකාරි කිරිම සඳහා බිය වර්ධනය වී ඇති බවද එහි සඳහන්ය. 

සිවිල් ආයතන ගණනාවක් රාජපක්ෂ පාලනය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඇති බවද පෙන්වාදී තිබේ. 

රජයේ ප්‍රධාන ආයතන ගණනාවක ඉහළ තනතුරුවලට මිලටරි නිලධාරීන් පත්කර ඇති බවත්, ඒ අතර යුද අපරාධ චෝදනා සහ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ චෝදනා ඇති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බවත් සඳහන්ය.

බුද්ධි අංශ නිලධාරීන් මාධ්‍යවේදීන්ගෙන් හා ක්‍රියාකාරිකයන්නේ ප්‍රශ්න කිරීම් කර ඇති බවද එහි සඳහන්ය. 

ජිනීවාහි පවත්වන මානව හිමිකම් සැසියේදි කුමක් කරන්නේදැයි එම ක්‍රියාකාරිකයන්ගෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කර ඇති බව එහිදී පෙන්වාදී තිබේ. 

මෙම තත්වය නිසා ඉදිරියේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයට ගමන් කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට බාධා ඇතිවීමේ අවදානමක් ඇති බවද එහි සඳහන්ය.

(අනුරංග ජයසිංහ- අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්