ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් (Chang Xueyuan) වහාම යළි එරටට කැඳවීමට චීන රජය කටයුතු කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජිත චීන සංචාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමෙන් චීන රජය දැඩි අපහසුතාවයකට පත්කලායයි චෝදනා කරමිනි.
චීන ජනාධිපති ෂී ජින් පින් ගේ නිල ආරාධනාවකට අනුව මේවසරේ ජනවාරි මැද භගයේදී චීනයේ සංචාරය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පලකර තිබිණ.
ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා එරට රජය දැවැන්ත වැඩසටහනක් සංවිධානය කර තිබිණ. ඒ මෙරට ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය ඇතිවය.
කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එදින චීන සංචාරයක් සිදු කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බැවින්, එම සංචාරය සඳහා වෙනත් දිනයක් යෝජනා කරමින් විදේශ අමාත්‍යංශය විසින් චීන රජයට දැනුම්දීමක් කර තිබිණ.
මෙයින් චීන බලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති නමුත්, චීනය පුරා කොරෝනා වෛරසයක් පැතිරයන අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටට ගෙන්වා ගැනීමෙන් ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි ප්රචාරක වාසිය ගැන සලකා ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති දිනය ලබාදීමට චීන රජය කටයුතු කර තිබිණ. ඒ එදින වෙනත් සාමාන්‍ය රටක රාජ්‍ය නායකයකුට ලබාදී තිබු නිල සංචාරය ද අවලංගු කරමිනි.
ඒ අනුව ශ්‍රී ලංකා රජය යෝජනා කළ දෙවන දිනයේදී ශ්‍රී ලංකා රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට චීන රජය යලිත් වරක් දැවැන්ත නිල උත්සව මාලාවක් සංවිධානය කර ඇත.
කෙසේවුවද එම දිනයද අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ එකපාර්ශ්වික තීරණය හේතුවෙන් බලවත් සේ කනස්සල්ලට පත්ව ඇති චීන බලධාරීන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් පසුගිය 29 දා යලි එරටට කැඳවා ඇත.
ණය ගෙවන්න චීනයෙන් තවත් ණයක් ගන්න යන මොහොතක !
ශ්‍රී ලංකා රජය විසින් මෙවැනි බරපතල රාජ්‍යතන්ත්‍රීක වරදක් සිදුකර ඇත්තේ, චීනයෙන් ඩොලර් බිලියනයක් හා RMB බිලියන 02ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සාකච්ඡා ආරම්භ කර තිබියදීය.
එවැනි සාකච්ජාවක් ආරම්භකර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (07) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
මෙම ණය ලබා ගන්නේ ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් ඇතුළු රාජ්‍ය මූල්‍ය සපයා ගැනීමට බවද ඔහු එහිදී පැවසීය.
වසර තුනක සහන කාලයක් සහිතව වසර 10කින් ගෙවීමට මෙම ණය ලබා ගැනීමට සාකච්චා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති ණය සීමාව තුල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
කොරෝනා වෛරසය හෝ චීන ආර්ථිකයේ පසුබෑම හේතුවෙන් ණය ආධාර ලබාදීම් වැනි කටයුතුවලට බලපෑමක් සිදු නොවන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
හඬපටය