මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම විසින්

පවත්වන ලද විමර්ශනයේ වාර්තාව වසර දෙකක් ගතවන තුරුත් ප්‍රසිද්ධ නොකර සිටීම ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූවන්ගේ බලවත් කෝපයට සහ කලකිරීමට හේතුවී තිබේ.

එවක පාලක එක්සත් ජාතික පක්ෂයේ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකු මෙන්ම, සාක්ෂි දීම සඳහා වින්දිත මුස්ලිම් ජනයා සහභාගි කරවීමට මැදිහත්කරුවකු ලෙසද කටයුතු කළ අබ්දුල් සලීල් මොහොමඩ් ෆාසීල් පවසන්නේ කොමිසම ඔවුන්ගේ වාර්තාව එළි නොදක්වා සිටීම සිද්ධිය යටපත් කිරීමක් මෙන්ම වරදකරුවන්ට අනියමින් රැකවරණය සැලසීමක්ද වන බවයි.

කැරළි මර්දන පොලිසිය බලා සිටියදී මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ජනයා උසිගන්වන බෞද්ධ භික්‍ෂුවක් දිගන, මහනුවර - 2018 මාර්තු 05

 

වාර්තාව යට ගහන්නේ එස්ටීඑෆ් නිසාද?

"මානව හිමිකම් කොමිසම ඇයි ඒ ගොල්ලන්ගේ පරික්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කරන් නැත්තේ? මුස්ලිම් ජනතාවට පහර දුන්නේ දේශපාලන රැකවරණය ලබපු සිංහල මිනිස්සු විතරක් නෙමෙයි. එස්ටීඑෆ් එකත් අපිට ගැහුවා. අපේ ගෙවල් දොරවල්, යාන වාහන, දේපල විනාශ කෙරුවා. කොමිසම සාක්ෂි ගනිද්දි අපි ඒ ගැන පැහැදිලිවම කිව්වා. ඉතින් අපිට දැන් හිතෙන්නේ ඒ හින්දම කොමිසම වාර්තාව ප්‍රසිද්ධ නොකර ඉන්නවා කියලායි. ඇත්තටම කොමිසම වාර්තාව යට ගහලා තියාගෙන ඉන්නවා කියලයි අපට හිතෙන්නේ. නැත්නම් ඇයි අවුරුදු දෙකක් ගතවෙලත් වාර්තාව ප්‍රසිද්ධ නොකර තියන් ඉන්නේ,” යි එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැවසීය.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් කවරෙකු හෝ විසින් වාර්තාවේ ප්‍රමාදය පිළිබඳව කොමිසමෙන් විමසනු ලැබුවේදැයි විමසීමේදි මොහොමඩ් ෆාසීල් කියා සිටියේ කොතෙක් විමසුම් කෙරුවද කොමිසමේ කිසිදු වගකිව යුතු පුද්ගලයකු ඒ ගැන සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

"ඇයි නැත්තේ? අපි අවස්ථා කිහිපයකදීම කොමිසමට කතා කරලා ඒ ගැන ඇහුවා. ඒත් වගකිව යුතු කිසිම කෙනෙක් අපිට පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ. පස්සේ, පස්සේ එහෙම උත්තර දෙන එකත් නතර වුණා" ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

"මානව හිමිකම් කොමිසම ඇයි ඒ ගොල්ලන්ගේ පරික්ෂණ වාර්තාව
ප්‍රසිද්ධ කරන් නැත්තේ? මුස්ලිම් ජනතාවට පහර දුන්නේ
දේශපාලන රැකවරණය ලබපු සිංහල මිනිස්සු විතරක් නෙමෙයි.
එස්ටීඑෆ් එකත් අපිට ගැහුවා.''

2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර වෙලාගත් ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මහනුවර සම්බන්ධීකරණ කාර්යාලයේදි සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුණි. ඒ කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගමගේ ප්‍රධානත්වයෙනි.

එම සාක්ෂි විමසීමේ කාර්ය සඳහා සහභාගි වු සෙසු නියෝජිතයන් සහ නියෝජිතවරියන් වන්නේ කොමසාරිස් ගසාලි හුසේන්, වැඩබලන පරික්ෂණ සහ විමර්ශන අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ ඩබ්ලියු එම් අහමඩ්, මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ සම්බන්ධිකාරිකා කුමුදුනි විතාරණ සහ නීති නිලධාරිනි ප්‍රදීපා වීරවික්‍රම යන අයයි.

කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයට අදාළව එළැඹෙන ලද නිර්දේශ කවරේදැයි, JDS විසින් පසුගිය වසරේ ජනවාරි මාසයේදි ද විමසා තිබු අතර, එහිදි වැඩබලන පරික්ෂණ හා විමර්ශණ අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි පවසා තිබුනේ,  ජූලි මාසය අවසන් වීමට පෙරාතුව වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ය.

නමුත් පීඩාවට පත්වු මුස්ලිම් ජනතාව විසින් කොමිසම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ගැන මෙන්ම වසර දෙකක් ගතවීත් වාර්තාව ප්‍රමාද වීම පිළිබඳව දුරකතනය සහ විද්‍යුත් ලිපිනය ඔස්සේ කොමිසමේ බලධාරීන්ගෙන් විමසීමට JDS  උත්සහ දරා ඇතත් එය ව්‍යාර්ථ වී ඇත්තේ කිසිදු නිලධාරියෙක් ඒ ඔස්සේ පිළිතුරු සැපයිම නොකළ බැවිනි.

 

ආණ්ඩුවෙන්ම චෝදනා

රජය ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට අපොහොසත්වීම ගැනත්, විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය ප්‍රමුඛ ආරක්ෂක අංශ විසින් සිංහල ජාතික ප්‍රහාරකයන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳවත් චෝදනා කරනු ලැබුවේ මහනුවර, දිගන සහ තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජනයා පමණක් නොවේ.

යහපාලන ආණ්ඩුවේ හිටපු මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ධූරය දැරු මොහොමඩ් හසීම් අබ්දුල් හලීම් ද එකළ චෝදනා කළේ ප්‍රහාරයට රජයේ ආරක්ෂක අංශ සම්බන්ධ වු බවට ය.

ඒ සන්නද්ධ STF භටයන් මුස්ලිම්වරුන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්වන අතරවාරයේ ය.

2018 මාර්තු 05 වැනි දින පස්වරු 4:59 ලෙස වේලාව සටහන් වී ඇති එවැනි එක් වීඩියෝ පටයක දර්ශනය වන්නේ දිගන, හිජ්රාපුර ජුම්මා දේවස්ථානයේ පටිගත වූවක් බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබු බව JDS සංවිධානය පවසයි.

"ඔය කියන විදිහට වන්දි ලැබුනේ නෑ. තෝරාගත්ත කිහිප දෙනෙක්ට සංදර්ශනයක් විදිහට වන්දි මුදලක් දුන්නා තමයි. ඒත් හැමෝටම නෙමෙයි. ලැබුණු වන්දියත් ප්‍රමාණවත් නෑ".

කෙසේ නමුත් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබුවන්ට සහ හානි වු දේපලවලට රජය විසින් වන්දි ලබාදුන් බවත්, පුජාපිටිය ප්‍රදේශයේ විනාශ කෙරුණු ලී මෝල් කිහිපයක යන්ත්‍රෝපකරණ සඳහා මේතාක් වන්දි ගෙවා නැති බවත් හලීම් ඇමතිවරයා ප්‍රකාශ කළද එය බැහැර කරන මැදදුම්බර ප්‍රාදේශිය සභා මන්ත්‍රි මොහොමඩ් ෆාසීල් පවසන්නේ සියල්ලන්ටම නිසි පරිදි වන්දි නොලැබුණු බවයි.

"ඔය කියන විදිහට වන්දි ලැබුනේ නෑ. තෝරාගත්ත කිහිප දෙනෙක්ට සංදර්ශනයක් විදිහට වන්දි මුදලක් දුන්නා තමයි. ඒත් හැමෝටම නෙමෙයි. ලැබුණු වන්දියත් ප්‍රමාණවත් නෑ".

Image result for digana attack''ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවාරයට ඉදිරිපත් කළ
ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ දිගන ප්‍රහාරය ගැනද සඳහන් වේ.''

 

ජිනීවා අවධානය:

මේ අතර ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ දිගන ප්‍රහාරය ගැනද සඳහන් කෙරේ.

එම වාර්තාවට අනුව තුන් දින ප්‍රහාරයකින් පසුව එක් පුද්ගලයෙක් මරා දමා, හාරසියයකට වැඩි දේපල, රථ වාහන මෙන්ම ආගමික ස්ථානද විනාශ කර ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවද දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයන්ද පසුව නිදහස් කරන ලද බවටයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

2014 වසරේ සිදුවු අලුත්ගම ප්‍රහාරයත්, 2017 වසරේ ගිංතොට හා 2018 වසරේ සිදුවු අම්පාර සහ දිගන මුස්ලිම් විරෝධී ප්‍රහාර පිළිබඳවත් එහි වැඩි දුරටත් සදහන්ව ඇත්තේ “සෑම සිද්ධියකදීම ප්‍රමාණවත් සාක්ෂි තිබුනත්, ආණ්ඩුව කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැම් පීඩිතයන්ට වන්දි ගෙවා තිබුනත්, අවුරුදු කිහිපයක් ගතවුවත්, කිසිදු අපරාධකාරුවෙක් වගඋත්තරකරුවකු කර නැත,” යනුවෙනි.

අලුත්ගම සහ දිගන සිද්ධීන් සම්බන්ධයෙන් ගත්කල, වෛරක්කාරී උද්ඝෝෂණ වැලක්වීමට පියවර නොගත් බවට පොලිසියට චෝදනා නැගී තිබු බවද එම වාර්තාව මගින් මතක් කර දී තිබේ.

"ඊටත් වඩා, පෙර දිනවල සිදුවූ මුස්ලිම් විරෝධී කැරැලිවලට පොලිස් නිලධාරීන් ක්‍රියාකාරීව සහාය දුන් බවට වාර්තා තිබුනත්, එම වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නොමැත," යි එහි වැඩි දුරටත් සදහන්ය.

 

එජාපය “සද්ද නෑ”

Image result for ranil sajith

ප්‍රාදේශිය සභා මන්ත්‍රි මොහොමඩ් ෆාසීල් ද කෝපයෙන් යුතුව කියා සිටියේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නට යහපාලන හවුල් ආණ්ඩුවේ පාර්ශවකාර එක්සත් ජාතික පක්ෂයට පවා කිසිදු උවමනාවක් නොතිබුණු බවයි.

"ඒ කාටවත් සෑබෑ උවමනාවක් තිබුණේ නෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න. නිකන් බොරුවට ඒ දවස්වල කතා කළා විතරයි. දැන් කිසිම සද්දයක් නෑ. හැමෝටම ඕන වුණේ මේක ඉක්මනට යටපත් කරලා දාන්න. දේශපාලන පක්ෂවල ඉහළ අයට ඕනේ වුණේ මුස්ලිම් අයට ගහපු තමන්ගේ ආධාරකරුවෝ බේරගන්න මිසක් අපිට සාධාරණය ඉටු කරන්න නෙමෙයි."

මානව හිමිකම් කොමිසම විසින් කරන ලද තුන් දින සාක්ෂි විමසිමෙන් පසුව, කොමිසමේ සභාපතිනි ආචාර්ය උඩගම විසින්ද ප්‍රකාශ කර තිබුණේ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ භූමිකාව පිළිබඳවද තම විමර්ශනයේ අවධානයට ලක් වූ බවයි.

නමුත් ආචාර්ය අහ්මඩ් ෂහිඩ් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට පසු දින, එනම් පසුගිය 27 දා එක්සත් ජාතීන්ගේ කොමිසම හමුවේ කරුණු දක්වන ආචර්ය උඩගම, දිගන ප්‍රහාරය පිළිබඳව හෝ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රි ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව දියත්වන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව හෝ පැවසීමෙන් වැළකෙන්නට සැලකිලිමත් වී ඇත.

මහනුවර මුස්ලිම් විරෝධි ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසිනුත් පරික්ෂණ පැවැත්වුවද නඩු පැවරුමක් පිළිබඳව දැනගන්නට නොමැත.

( © JDS : jdslanka.org- කිත්සිරි විජේසිංහ විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්